අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගො ආර්එස්පී පීඑස්සී අයිජී, ලුතිනන් ජෙනරාල් නිලයට උසස් කර ශ්‍රී ලංකාවේ 25 වන යුද්ධ හමුදාධිපතිවරයා ලෙස පත් කළේය.

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ඊයේ (30) භාර දුන්නේය.

ඒ අනුව ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගො ආර්එස්පී පීඑස්සී අයිජී යුද්ධ හමුදාධිපති ලෙස, යුද්ධ හමුදා මූලස්ථානයේ දී අද ( 31 ) දින සර්ව ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව සිය ධූරයේ රාජකාරි භාර ගත්තේය.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගො වර්ෂ 1989 ජනවාරි මස 20 දින කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක – 31 යටතේ, යුද්ධ හමුදා නිත්‍ය බලකායට බැඳී එතුමන් දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය සහ ඉන්දියානු යුද්ධ හමුදා විද්‍යාපීඨය තුළින් මූලික පුහුණුව සාර්ථකව හැදෑරීමෙන් අනතුරුව දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව වෙත අනුයුක්ත කෙරිණි.

කොළඹ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන එතුමන් පාසැල් වියේ දී අධ්‍යාපනික හා විෂය බාහිර ක්‍රියාකාරකම් දෙකෙහිම දස්කම් දැක්වීය. ඔහු ජවසම්පන්න ක්‍රීඩකයෙකු වූ අතර අඛණ්ඩව වසර තුනක් විද්‍යාලයීය ශිෂ්‍ය නායකයෙකු ලෙස කටයුතු කර ඇත. ඔහු පාසැලේ ක්‍රිකට්, පැසිපන්දු සහ රග්බි නායකත්වය දැරූ අතර පාසල් මලල ක්‍රීඩා කණ්ඩායමේ සාමාජිකයෙකු ද විය.

වසර 36 ක කීර්තිමත් හමුදා දිවිය තුළ දෙස් විදෙස් පාඨමාලා රැසක් හදාරා ඇති එතුමන් අණ හා මාණ්ඩලික සහ උපදේශක පත්වීම් ගණනාවක් හොබවා ඇත. එතුමන් දියතලාව යුද්ධ හමුදා විද්‍යාපීඨයේ නිලධාරී අධ්‍යයන මධ්‍යස්ථානයේ පුහුණු කණ්ඩායම් ප්‍රධානි සහ ප්‍රධාන උපදේශක, යුද්ධ හමුදා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උපදේශක සහ පුහුණු කණ්ඩායම් ප්‍රධානි, යුද්ධ හමුදා විදේශ මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ, 66 පාබල බලසේනාවේ බලසේනාධිපති, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක, ආරක්‍ෂක සේනා ආඥාපති (මධ්‍යම), ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක ආදී තනතුරු රැසක්ද හොබවා ඇත.

එසේම යුද්ධ හමුදාධිපතිධූරයට පත්විමට පෙර එතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා නියෝජ්‍යය මාණ්ඩලික ප්‍රධාන තනතුර හෙබ වූ අතර ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායක ධූරයද හෙබවූයේය.

එසේම වොෂින්ටනයේ ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර ප්‍රතිත්‍රස්ථ සහයෝගීතා වැඩසටහනේ උපායමාර්ගිය ආරක්ෂක අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය, සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ආරක්ෂක සහ උපායමාර්ගික අධ්‍යයනය පිළිබඳ විද්‍යාපති උපාධිය, එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ඒකාබද්ධ වෘත්තීය සංග්‍රාමික අධ්‍යයන ඩිප්ලෝමා පාඨමාලා අදියර II යටතේ උසස් අධ්‍යයනය, දීර්ඝ කාලීන කාලතුවක්කු මාණ්ඩලික පාඨමාලාව, යුද්ධ හමුදා අණ හා මාණ්ලික පාඨමාලාව ආදී දෙස් විදෙස් පාඨමාලා රැසක් හදාරා ඇති අතර එතුමන් වොෂින්ටනයේ ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර ප්‍රතිත්‍රස්ථ සහයෝගීතා වැඩසටහනේ හොඳම විදේශ ශිෂ්‍යයා සම්මානය සඳහා තෝරා ගැනීම ඔහුගේ වෘත්තීය ජීවිතයේ විශේෂී ජයග්‍රහණයක් විය.

එසේම ත්‍රස්තවාදය මෙරටින් මුලිනුපුටා දැමීමේ සටනේ දී සතුරා හමුවේ දැක්වූ විශිෂ්ටත්වය නිසාම එතුමන් රණ ශූර පදක්කමෙන් පිදුම් ලබා ඇත.

ස්වෙන්ද්‍රිනී රොද්‍රිගෝ මැතිණිය සමඟ විවාහ වී සිටින එතුමන් දියණියන් දෙදෙනෙකුගේ සහ පුතණුවෙකුගේ ආදරණීය පියෙකි.

Share.
Leave A Reply

Exit mobile version