මීගමුව බන්ධනාගාර ගැටුමට මුලික වූ රැඳවියන් අතට ආයුධ ලැබී තිබී ඇති අතර, ඔවුන් යකඩ ගේට්ටුව කඩාගෙන ඉන් පිටතට පැමිණ තිබූ බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවට හෙළි කළේය.
රජය, ගැටුම කිසිදු අවස්ථාවක අවතක්සේරු කර නොමැති බව සඳහන් කර සිටි අමාත්‍යවරයා, බන්ධනාගාර යාන්ත්‍රණය කඩාකප්පල් කිරීම ගැටුමට සම්බන්ධ වූ පිරිසේ අරමුණ වී තිබුණු බවද කියා සිටියේය.
ප්‍රහාරයට ලක්ව ඇත්තේ නිරායුධ නිලධාරීන් දෙදෙනෙකු බවත් ඔවුන්ව බේරාගැනීමට අනිකුත් නිලධාරීන් එම ස්ථානයට ගොස් ඇති බවද අමාත්‍යවරයා, බහුතරයක් නිලධාරීන් ගඩොල් සහ පොලුවලින් අමානුෂික ලෙස පහරකෑමට ලක්ව මියගොස් ඇති බවද සඳහන් කළේය.
මීගමුව බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් හර්ෂණ නානායක්කාර මහතා මේ බව පැවසීය.
කෙසේ වෙතත් සිදුවු වැරැද්ද තේරුම් ගෙන නැවත එවැන්නක් සිදුනොවීමට කටයුතු කළ යුතු බවද සඳහන් කර සිටි අමාත්‍යවරයා, කුමන හේතුවක් මත මෙම ප්‍රහාරය එල්ල කළේද යන්න සොයා බැලිය යුතු බවද කියා සිටියේය.
“මේක හොඳින් සිහියට ගන්න මේක රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් අතර ගැටුමක් වෙන්නේ නෑ. රැඳවියන් අතර ගැටුම වෙන්නේ. ඒකෙන් දෙන්නෙක් මිය යනවා. 34 තුවාල ලබනවා. ඒකට අපි මැදිහත් වෙනවා. ඒක අපිට සමතයකට පත්කරගන්න පුළුවන් වෙනවා.
පසුවෙනිදා උදෑසන නැවත ඉතාම ක්ෂණිකයෙන් උදේ වරුවේ ඔවුන්ට ආහාර දීලා උසාවි ගෙනියන්න ලෑස්ති වෙද්දි නැවත මෙම දෙපාර්ශ්වය අතර ගැටුමක් ආරම්භ වෙනවා. මේ ගැටුම වෙන්නේ කුඩු සහ පාතාලයට සම්බන්ධ කණ්ඩායම් දෙකක් අතර. මත්ද්‍රව්‍ය ගැන අපිට තොරතුරු දුන්න රැඳවියෝ තමා ඉස්සෙල්ලාම ප්‍රහාරයට ලක්වෙන්නේ. ඒ නිසා අපි හිතනවා මේක මත්ද්‍රව්‍ය හා සම්බන්ධ ගැටුමක් විය හැකියි කියලා. මා මේ කියන සියලු කරුණු තහවුරු වෙන්නේ කමිටු වාර්තාවලින් පසුව. මේ මට මේ මොහොතේ තියෙන තොරතුරු පමණයි. පරීක්ෂණ අනුව වෙනස් විය හැකියි.
මොවුන් ප්‍රහාර එල්ල කරලා CCTV කැමරා ටික කඩනවා. හැමෝම නෙමෙයි කෙටි පිරිසක්. බොඩි ස්කෑනර් එක කඩනවා. මොවුන් නාකොටික් සහ අනීතික දේවල් බන්ධනාගාරය තුළට ඒමට තිබෙන යාන්ත්‍රණය අඩපණ කළ බව තමා තේරෙන්නේ. ප්‍රහාරයට ලක්වෙන්නේ නිරායුධ නිලධාරීන් දෙදෙනෙක්. ඔවුන්ට පහර දෙනකොට අනිත් අයඇවිත් තියෙන්නේ. බහුතරයක් නිලධාරීන් අමානුෂික පහරදීමට ලක්ව මියයන්නේ. දිවි හිමිවෙන් රැකියාව කරපු නිලධාරීන්ට මගේ ගෞරවය. යකඩ දොර කඩාගෙන ඔවුන් එතැනින් එළියට එනවා. දැනට තියෙන තොරතුරු අනුව ඔවුන් අතට යම් ආයුධයක් දෙකක් පත්වෙලා තියෙනවා. ඒක කොහොමද වුණේ කියලා විමර්ශනය හරහා හොයනවා. ඒ අවස්ථාවේ දී නිලධාරීන් ආත්මාරක්ෂාවට වෙඩි තබා තියෙනවා. ”
