දින දෙකක සංචාරයක් සදහා මෙරටට පැමිණි ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා ජනාධිපති අපේක්ෂකයින් කිහිප දෙනෙකු සහ දේශපාලන පක්ෂ කිහිපයක් සමග සාකච්ඡා කර තිබේ.

ඉන්දියාවේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ ජ්‍යෙෂ්ඨතම තනතුරක් වන ජාතික ආරක්ෂක උපදේශක තනතුරට පැවරෙන ප්‍රධාන වගකීමක් වන්නේ අගමැතිවරයාට ජාතික ආරක්ෂක ප්‍රතිපත්ති හා විදෙස් කටයුතු පිළිබඳව උපදෙස් ලබාදීමයි.

ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා ඊයේ පස්වරුවේ උතුරු නැගෙනහිර දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයින් හමුවිය .

මෙම හමුවට ඉලංගෙයි තමිල් අරසු පක්ෂය වෙනුවෙන් එම්.ඒ සුමන්දිරන්, එස්.ශ්‍රී ධරන් සමග ටෙලෝ සංවිධානයේ සෙල්වම් අඩෙයිකලනාදන්, ප්ලොට් සංවිධානයේ ධර්මලිංගම් සිද්ධාර්ථන් සහ දෙමළ ජාතික ජනතා පෙරමුණේ සෙල්වරාසා ගජෙන්ද්‍රන් යන මන්ත්‍රීවරුන් සහභාගීවී සිටියේ ය.

මේ අතර ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද උදෑසන ජනාධිපති කාර්යාලයේදී  සිදුවිය.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, දෙරට අතර ආර්ථික සහයෝගීතාව පිළිබඳ එහිදී සාකච්ඡා කළ බවයි.

ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා අද පෙරවරුවේ ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ද හමුවිය.

මෙම හමුවට විජිත හේරත් මන්ත්‍රීවරයා ද සහභාගී වූ අතර එහිදී සාකච්ඡා කළ කරුණු අනාවරණය වී නැත .

ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශකවරයා සමගි ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ද හමුවී සාකච්ඡා කර තිබේ .

එහිදී ද සාකච්ඡා කළ කරුණු අනාවරණය වී නැත .

මේ අතර ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා මනෝ ගනේෂන් මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුත් දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් ද හමුවිය.

මේ අතර ශ්‍රී ලංකාව , ඉන්දියාව , බංග්ලාදේශය ,මාලදිවයින හා මොරිෂස් රාජ්‍ය ඇතුළත් කොළඹ ආරක්ෂක සමුළුවට අයත් සමාජික රටවල ලේකම් කාර්යාලයක් පිහිටුවීමේ ප්‍රඥප්තිය සහ අවබෝධතා ගිවිසුමටත් අද කොළඹදී අත්සන් තැබුවේය.

අද පස්වරුවේ ගිවිසුමට අත්සන් කැබීම සිදුවූයේ ජනාධිපති කාර්යාලයේදීයි.

Share.
Leave A Reply

Exit mobile version