මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිටවූ බව කියන සිද්ධි දෙකක් සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

අලව්ව ප්‍රදේශයේ උපකාරක පන්ති පවත්වන රජයේ ගුරුවරයෙකු සිය අනුමාන ප්‍රශ්න පත්‍රය තුළ මෙවර ශිෂ්‍යත්ව විභාගයට බොහෝ දුරට සමාන ප්‍රශ්න සහිතව ලබා දී ඇති අතර ඔහු සිය සමාජ ජාල, සමූහයක ද එය පළ කර විභාගය පැවති 15 වන දින අලුයම මකා දමා ඇති බව මව්පියන් පිරිසක් විභාග දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇත.

ඊට අමතරව, තවත් මව්පියන් පිරිසක් චෝදනා කළේ, කෑගල්ල දිස්ත්‍රික්කයේ ඇතැම් පාසල්වල අනුමාන ප්‍රශ්න පත්‍රයක ද එම ප්‍රශ්න අඩංගුව තිබූ බව ය.

විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 3ක් මේ ආකාරයට බොහෝ දුරට සමාන වන ආකාරයෙන් විභාගයට පෙර ලබා දී ඇති අතර මේ පිළිබඳව කඩිනමින් පියවරක් ගන්නා ලෙස මව්පියන් විභාග දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇත.

මේ පිළිබඳව ‘මව්බිම’ කළ විමසීමේදී අදහස් දැක්වූ විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේ, තමන්ට ලද පැමිණිලි සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් ආරම්භ කළ බව ය.

ඒ අනුව, අද (සැප්. 17) දිනයේදී මෙම ප්‍රශ්න පත්‍රය සෑකසීමට දායක වූ විශේෂඥ මණ්ඩලය සහ අදාළ පාර්ශ්ව ගෙන්වා සාකච්ඡා කරන බව ත් යම් අසාධාරණයක් සිසුන්ට සිදුව ඇත්නම් ඊට අදාළව කඩිනමින් විසඳුම් ලබා දීමට පියවර ගන්නා බව ත් අවධාරණය කළේ ය.

පෙරේදා (සැප්. 15) දිවයින පුරා පැවති පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය විභාගය ආරම්භ වීමට පෙර ඡායාරූප ගත කොට තවත් ගුරුවරුන් පිරිසක් වෙත යැවූ විභාග මධ්‍යස්ථානයක සහකාර විභාග ශාලාධිපතිවරයා හා ඊට සම්බන්ධ තවත් ගුරුවරුන් පස්දෙනෙකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා විභාග දෙපාර්තමේන්තුව විසින් සිය භාරයට ගෙන ඇත.

අනුරාධපුර නගරයට ආසන්න විභාග මධ්‍යස්ථානයකදී එම මධ්‍යස්ථානයේ සහකාර ශාලාධිපතිවරයා විසින් විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය සිය ජංගම දුරකතනයෙන් ඡායාරූප ගත කර බෙදාහරින ලද බවට ලද තොරතුරු මත මෙම සහකාර ශාලාධිපතිවරයා ඇතුළු ගුරුවරු හය දෙනා මෙසේ ප්‍රශ්න කිරීම සඳහා විභාග දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබේ.

පෙරේදා (සැප්. 15) පැවැති පහ වසර ශිෂ්‍යත්ව විභාගය ආරම්භ වීමට පෙර මෙම විභාග මධ්‍යස්ථානයේ සහකාර විභාග ශාලාධිපතිවරයා විසින් පළමු ප්‍රශ්න පත්‍රය දුරකතනයෙන් ඡායාරූප ගත කොට උපකාරක පන්ති පවත්වා ගෙන යන ගුරුවරුන් කිහිප දෙනෙකුට යැවීම සම්බන්ධයෙන් එම සහකාර විභාග ශාලාධිපතිවරයා සහ ගුරුවරු හය දෙනෙකු ජංගම දුරකතනය ද සමඟ විභාග දෙපාර්තමේන්තුව විසින් සිය භාරයට ගෙන තිබිණි.

අනුරාධපුර නගරයේ සහ නොච්චියාගම යන ප්‍රදේශවල පිහිටි රජයේ පාසල්වල සේවය කරන විදුහල්පතිවරයෙකු ඇතුළු පිරිසක් ද මෙම චෝදනාවට ලක්ව සිටිති.

මෙම ප්‍රශ්න පත්‍රය අනුරාධපුර, නොචිචියාගම, කොළඹ, කුරුණෑගල ඇතුළු ප්‍රදේශ කීපයකට යවා තිබෙන බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.

මේ සම්බන්ධයෙන්, විභාග දෙපාර්තමේන්තුවේ අතිරේක කොමසාරිස් නීල් අතුකෝරල මහතාගෙන් ඊයේ (සැප්. 16) දින දුරකතනය මගින් සිදු කළ විමසුමේදී ඒ මහතා සඳහන් කළේ, අදාළ සිද්ධියට සම්බන්ධ ගුරුවරුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔවුන් සියලු දෙනා ම මුදා හරින ලද බව ය.

ඉදිරියේදී මෙම ගුරුවරුන්ට විරුද්ධව විනය පරීක්ෂණයක් ආරම්භ කරන බව ද අතිරේක කොමසාරිස්වරයා වැඩිදුරට ත් පැවසීය.

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයෙන් ඡායාරූප ගත කිරීමේ සිද්ධිය සනාථ කරමින් ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය.

“මෙම සිද්ධිය පිළිබඳ විස්තර මට පහළොස්වැනි දින පෙරවරුවේ දැන ගන්නට ලැබුණා. මම ඒ මොහොතේ ම උතුරු මැද අධ්‍යාපන බලධාරීන්ට මේ බව දැනුම් දුන්නා. මෙවැනි දූෂණ සිදු වන්නේ ටියුෂන් ගුරුවරුන් ජාලයක් හරහායි. මෙවැනි අකටයුතු, අක්‍රමිකතා සිදු කරන පුද්ගලයන්ට තරාතිරම නොබලා දැඩි දඬුවම් පැමිණීමට අධ්‍යාපන බලධාරීන් නොපමාව කටයුතු කළ යුතු යි. මෙවැනි දේ නිසා දිගින් දිගට ම විභාග කෙරෙහි ඇති විශ්වාසය බිඳ වැටෙමින් පවතිනවා. එම නිසා මෙම පහ වසර ශිෂ්‍යත්වය විභාගයේ ප්‍රශ්න පත්‍රය පිටවීම සම්බන්ධයෙන් ඊට වගකිව යුතු සියලු දෙනාට නීතිය තදින් ක්‍රියාත්මක විය යුතු යැයි ද ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා වැඩිදුරට ත් පැවසීය.

Share.
Leave A Reply

Exit mobile version