විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සීමාවීමෙන් අද (27) පෙරවරුවේ ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට රැස්ව සිටි විශාල පිරිසක් අපහසුතාවට පත්විය.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පැවසුවේ, ඔවුන් සතුව මේ වනවිට ඇති හිස් විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණය සීමිත වීම හේතුවෙන් ඒවා නිකුත් කිරීම සීමා කර කර ඇති බවයි.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව දිනකට නිකුත් කරන ගමන් බලපත්‍ර ප්‍රමාණය 350කට සීමා කිරීම හේතුවෙන් අද අලුයම සිට බත්තරමුල්ලේ පිහිටි දෙපාර්තමේන්තු කාර්යාලය ඉදිරිපිට පෝලිම් දක්නට ලැබුණි.
ඇතැම් පුද්ගලයින් පැවසුවේ, තමන් දින කිහිපයක් පෝලිම්වල රැඳී සිටි බවයි.
මොකක්ද මේ පාස්පෝට් ප්‍රශ්නය?
ආගමන හා විගමන පාලක ජෙනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා ඊයේ පස්වරුවේ මේ පිළිබඳව පැහැදිලි කරමින් නිවේදනයක් නිකුත් කර තිබුණි.
එම නිවේදනයේ සඳහන් වූයේ, දෙපාර්තමේන්තුව සතුව ඇති හිස් විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණය සීමිත වී ඇති බවයි.
නව ඉලෙක්ට්‍රෝනික විදේශ ගමන් බලපත්‍රයක් හඳුන්වාදීමට රජය විසින් පියවර ගෙන ඇති අතර ජාත්‍යන්තර මිල ගණන් කැඳවීම මගින් විදේශීය සමාගමකට එම ගමන් බලපත්‍රය සැපයීම දැනටමත් ප්‍රධානය කර තිබේ.
ආගමන හා විගමන පාලක ජෙනරාල්වරයා පවසන්නේ, දැනට දෙපාර්තමේන්තුව සතු හිස් ගමන් බලපත්‍ර සීමිතවීම සැලකිල්ලට ගෙන ඉලෙක්ට්‍රෝනික ගමන් බලපත්‍රය ඇණවුම් කළ සමාගමෙන්ම එම ඇණවුමේ කොටසක් ලෙස සාමාන්‍ය හිස් විදේශ ගමන් බලපත්‍ර 750,000ක් සපයා ගැනීමට කටයුතු කර ඇති බවයි.
එම තොගය ඔක්තෝබර් මස අවසානයේ හෝ ඊට පෙර දිවයිනට ළඟාවීමට නියමිත බව ද එම ඔහු නිකුත් කළ නිවේදනයේ සඳහන් විය.
එතෙක් විසඳුම කුමක් ද?
මේ පිළිබඳව නිව්ස්ෆස්ට් කළ විමසීමකදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසුවේ, හෙට සිට කලින් වේලාවක් හා දිනයක් වෙන්කර ගැනීමෙන් පසුව විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමය අත්හිටුවන බවයි.
පැමිණි අනුපිළිවෙළට දිනකට ගමන් බලපත්‍ර 750 බැගින් නිකුත් කිරීමට තීරණය කර ඇතැයි ද අමාත්‍යවරයා කියා සිටියේ ය.