ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සමාජිකත්වය තාවකාලිකව අහෝසි කිරීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය කටයුතු කර තිබේ. තහනම ජනවාරි මස 21 වෙනිදා සිට නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මකය. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු මහ ලේකම් උපාලි හේවගේ මහතා වෙත ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය මෙම තහනම ලිපියක් මගින් දන්වා ඇත.

පසුගිය ජනවාරි මස 14 වැනිදා පැවැත්වූ නිලවරණයකින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට නව නිලධාරි මණ්ඩලයක් පත්කෙරුණ ද ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය එම නව නිලධාරි මණ්ඩලය පිළිගෙන තිබුනේ නැත.

පසුගියදා පැවැත්වූ නිලවරණයේදී තුන්වන පාර්ශවයක් ලෙස ක්‍රීඩා අමාත්‍යවරයාගේ මැදිහත්වීම, ක්‍රීඩා අමාත්‍යංශය විසින් පොරොන්දු වූ පරිදි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන ව්‍යවස්ථාව සංශෝධනය නොකිරීම සහ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සමග මීට පෙර එකඟ වූ මාර්ග සිතියමට අනුව ක්‍රියා නොකිරීම යන කරුණු මත මෙම තහනම පනවා ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකාව නියෝජනය කරන කිසිදු ක්‍රීඩකයෙක්ට, පුහුණුකරුවෙක්ට හෝ නිලධාරියෙක්ට මෙන්ම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ජාත්‍යන්තර තරග හෝ වෙනත් කිසිදු තරගාවලියකට සහභාගී වීමට එම තහනමට අනුව හැකියාවක් නැත. (දිවයින)

Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

Share.
Leave A Reply

Exit mobile version