ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2018 තිබුණු මට්ටමට පැමිණීමට තව වසර දෙකක හෝ තුනක කාලයක් ගත වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර මහතා පවසයි.
‘2024 වාර්ෂික ආර්ථික විවරණයෙන් පිළිබිඹුවන ශ්‍රී ලංකා ආර්ථිකය‘ මැයෙන් ඊයේ (27) කොළඹ මහ බැංකු මූලස්ථාන පරිශ්‍රයේ පැවති ප්‍රසිද්ධ දේශනයෙන් අනතුරුව පැවති සාකච්ඡාවක දී ඔහු මේ බව කියා සිටියේය.
2019 – 2023 වසර 5ක කාලය තුළ ධන ආර්ථික වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත්ව ඇත්තේ 2021 වසරේ දී පමණක් බවත්, සෙසු සෑම වසරකදීම වාර්තා වන්නේ ආර්ථිකයේ සංකෝචනය වීමක් බවත් සහකාර අධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ සහාකාර අධිපති ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර මහතා කියා සිටියේ 2018 වසරේ දී රු. ට්‍රිලියන 13.2 ක්ව පැවති මෙරට මූර්ත දළ දේශීය නිෂ්පාදිතය 2023 වසර වන විට රු. ට්‍රිලියන 11.9 ක් දක්වා අඩු වී ඇති බවයි. එය 2024 වසරේ දී රු. ට්‍රිලියන 12.5ක් දක්වා වර්ධනය වී ඇති බව සඳහන් කළ සහාකාර අධිපති අමරසේකර මහතා පැවසුවේ, ශ්‍රී ලංකා ආර්ථිකය 2018 පැවති මට්ටම කරා ළඟා වීමට තවත් වසර දෙකක හෝ තුනක කාලයක් ගතවනු ඇති බවයි.
“2019 – 2023 කාලය ගත්තොත් අපිට 2021 විතරයි තිබිලා තියෙන්නේ ධන ආර්ථික වර්ධනයක්. 2019: – 0.2ක්, 2020: – 4.6ක්, 2022: – 7.3ක් සහ 2023: – 2.3 ක් වශයෙන් සංකෝචනයක්. ඒ වගේ ආර්ථිකය ඉතා අර්බුදකාරී තත්ත්වයක තමයි තිබිලා තියෙන්නේ, විවිධ හේතූන් නිසා. පාස්කු ඉරිදා ප්‍රහාරය, කොවිඩ් වසංගතය, ඒ වගේම ආර්ථික අර්බුදය. ඒ හේතූන් නිසා ආර්ථිකය ඉතා පහළ මට්ටමක පැවතිලා තියෙන්නේ. ඒකෙන් මූර්ත දළ දේශීය නිෂ්පාදිතයට මොකද වෙලා තියෙන්නේ.“
“2018 අවුරුද්දේ රු. ට්‍රිලියන 13.2 ක මූර්ත දළ දේශීය නිෂ්පාදිතයක් අපිට තිබිලා තියෙනවා. එය 2022 වෙන කොට රු. ට්‍රිලියන 12.2ක් දක්වා අඩුවෙලා තියෙනවා, 2023 වෙනකොට රු. ට්‍රිලියන 11.9ක් දක්වා අඩුවෙලා තියෙනවා. ඒ කියන්නේ ආර්ථිකය හැකිළිලා. ආර්ථිකයේ මුළු ආදායම අඩුවෙලා තියෙනවා. 2024 අවුරුද්දේ 5%ක වර්ධනයත් සමඟ, මේ හැකිළිණු මූර්ත ආර්ථිකය ප්‍රසාරණය වෙන්න පටන් අරන් තිබෙනවා. 2024 අවුරුද්දේ මූර්ත දළ දේශීය නිෂ්පාදිතය රු. ට්‍රිලියන 12.5 ක් දක්වා වැඩිවෙලා තියෙනවා.“
“තව අවුරුදු දෙකක් තුනක්වත් යයි, මං හිතන්නේ අපි 2018 ආර්ථිකය තිබුණු තත්ත්වයට පත්වෙන්න.“