බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ශකිබ් අල්-හසන් ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අනුමැතිය ඇති ජාතික ක්‍රිකට් සංගම් මගින් සංවිධානය කරනු ලබන දේශීය හෝ විදේශීය තරගාවලිවලදී පන්දු යැවීම අත්හිටුවා තිබේ.

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් ඒ බව පැවසීය.
  
එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය මගින් එරට පැවැත්වෙන ක්‍රිකට් තරගවලදී ශකිබ් ට පන්දු යැවීම පසුගියදා තහනම් කළේය.

ඒ පසුගිය සැප්තැම්බර් මාසයේ පැවති එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගයකදී ඔහු පන්දුව දමා ගැසූ බවට චෝදනා කරමිනි.

ඒ අනුව ශකිබ් සිය පන්දු යැවීමේ ඉරියව්ව නැවත පරීක්ෂණයකට ලක්කළ යුතුය.

ඔහු මේ වනවිට ශ්‍රී ලංකා T10 තරගාවලිය සඳහා එක්වී සිටියි.

ගෝල් මාවල්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන ශකිබ් පසුගිය තරග දෙකේදී ම පන්දු යැව්වේ නැත. 

ටෙස්ට් සහ T20 ජාත්‍යන්තර තරගවලින් සමුගත් ශකිබ් අල් හසන් එක්දින ජාත්‍යන්තර තරග සඳහා තවමත් බංග්ලාදේශය නියෝජනය කරයි.

Share.
Leave A Reply

Exit mobile version