වත්මන් ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය යළි නගා සිටුවීම හා ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාව මේ වන විට ගෙන ඇති පියවරයන් සම්බන්ධයෙන් ඉතාලි රජයේ ප්‍රසාදය හිමිවන බව එරට විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එඩමන්ඩෝ සිරියේලි පවසා තිබෙනවා. ඒ, එරට නිළ සංචාරයක නිරත මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, ඉතාලි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා හමුවූ අවස්ථාවේදීයි.

එම අවස්ථාවේදී මෙරට ජනතාව වෙනුවෙන් ඉතාලි රැකියා අවස්ථා හිමිකරදීම සඳහා සංක්‍රමණික සේවක සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ද්වීපාර්ශවික අවබෝධතා ගිවිසුම් කඩිනම් කිරීම කෙරෙහි ද අවධානය යොමුවී තිබෙනවා.

මෙරට ආර්ථික ස්ථාවරත්වයට සංචාරක ක්ෂේත්‍රය මූලිකවම දායක වන බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා එහිදී පෙන්වාදුන් බවයි මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය පැවසුවේ.

ඒ අනුව මෙරටට ඉතාලි සංචාරකයින් වැඩි වශයෙන් ගෙන්වා ගැනීමට සහය ලබාදෙන ලෙසයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ඉල්ලා ඇත්තේ. ඒ සඳහා සහය ලබාදෙන බව ඉතාලි නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කළ බවයි මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය වැඩිදුරටත් පැවසුවේ. (නෙත් නිව්ස්)

Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Share.
Leave A Reply

Exit mobile version