අපි ක(ර්)ඩ් කියලා කියන්නෙ මුදවාපු කිරි වලටනෙ. හබැයි ඔයාලට දැන් මේ කියලා දෙන්න යන “ලෙමන් ක(ර්)ඩ්” වල නමේ “ක(ර්)ඩ්” කියලා තිබුනට මේකනම් මුදවාපු කිරි වගේ කෑමට ගන්න පුලුවන් කෑමක් නෙමෙයි. හැබැයි මේකත් හරිම රස කෑමක්! පෑන් කේක්, බිස්කට් වගේ දෙයක් එක්ක කන්න තමයි අපි මේ ලෙමන් ක(ර්)ඩ් පාවිච්චි කරන්නෙ.

අවශ්‍ය දේවල්:
• ලෙමන් ගෙඩි 3
• සීනි කෝප්ප 1 ½
• බටර් ග්‍රෑම් 100 (කාමර උෂ්ණත්වයේ තියෙන)
• ප්‍රමානයෙන් ලොකු බිත්තර 4
• ලෙමන් යුෂ කෝප්ප ½
• ලුණු චුට්ටක්

සාදාගන්නා ආකාරය:

අපිට “ලෙමන් ක(ර්)ඩ්” හදන්න ලෙමන් පොතු ඕන වෙනවා. ඒ හින්දා අපි මුලින්ම ලෙමන් ගෙඩිය ඇරගෙන ඒකේ පොත්ත සූරලා ගන්න ඕනෙ. පොත්තට ඇතුලෙන් තියන සුදු පාට ලෙල්ල සූරන්න එපා. ඔයාලගේ ගෙදර ඇති කැරට් එහෙම ගාගන්න ගන්න පීලර් එකක් සමහරවිට. අන්න ඒක මේ වැඩේට නියමයි. පීලර් එකක්ම ඕන නෑ. කොහොම හරි ලෙමන් ගෙඩි 3ම පොත්ත සූරා ගන්න එක තමයි කරන්න ඕනෙ ඔයාලා. ඊළගට මේ ලෙමන් පොතු ටික බ්ලෙන්ඩර් එකකට දාලා සීනිත් එකතු කරලා බ්ලෙන්ඩ් කර ගන්න. ඊට පස්සේ බටර් ටික භාජනේකට දාලා ටිකක් විතර දිය කරගන්න. හැන්දකින් මේ වැඩේ කරන්න පුළුවන්. එහෙම දියකරගත්ත බටර් වලට බ්ලෙන්ඩ් කරගත්ත ලෙමන් පොතු ටික දාලා කලවම් කරගන්න.

දැන් මේක බීට් කරගන්න ඕනෙ. බීට් කරන කොට බිත්තරත් එකතු කරගන්න. හැබැයි සේරම බිත්තර එකපාරට දාන්න එපා. එක සැරේකට එක ගානේ දාලයි බීට් කරන්නේ. ඒත් එක්කම ලෙමන් යුෂ ටිකයි ලුණු චුට්ටකුයිත් මේකට එකතු කරගන්න. මේ විදියට බීට් කරලා ඉවර වෙලා ඒ මිශ්‍රණය පෑන් එකකට (ලිපේ තියන්න පුළුවන් භාජනේකට) දාලා ලිපේ තියන්න. දැන් මේක විනාඩි 10ක් විතර යනකම් ලිපේ තියන්න ඕනෙ. තව දෙයක්! ඒ විනාඩි 10ම මේක එක දිගටම හැදි ගාන එක කරන්න ඕනෙ අපි. හැබැයි ගොඩක් වෙලා වැඩිපුර ගින්දර දාලා එහෙම ලිපේ තියන්න එපා. බිත්තර ටික ඔම්ලට් වෙන්න පටන් ඇරන් තමයි නවතින්නෙ එහෙම කරොත්.

ඊළගට තියෙන්නෙ ලිපෙන් බාගෙන පොඩ්ඩක් නිවෙන්න තියන්න. දැන් එහෙනම් හදාගත්ත ලෙමන් ක(ර්)ඩ් ෆ්‍රිජ් එකේ දාලා තියලා පස්සෙ ඕන වෙලාවට අරගෙන කෑමට ගන්න පුලුවන් ඔයාලට. මේ විදියට හදාගත්ත රසම රස ලෙමන් ක(ර්)ඩ් ඔබත් රස බලන්න. (aayubo)

එහෙමනම් මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එකේ පළ කරන්නත් අමතක කරන්න එපා.

Buzzer.lk සහ Buzzer Food සමඟ සම්බන්ධ වීමෙන් විවිධ ආහාර සහ ආහාර වට්ටෝරු ගැන වැඩි විස්තර දැන ගන්න.

Share.
Leave A Reply

Exit mobile version