Colombo Vs Kandy

ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ නුවර කණ්ඩායම සහ කොළඹ කණ්ඩායම අතර තරගයේ දෙවෙනි දිනය වූ ඊයේ (20 දා) දිනයේ තේ පානය සඳහා තරගය නතර කරන විට නුවර කණ්ඩායම කඩුලු 6ක් අතැතිව කොළඹ කණ්ඩායමට වඩා ලකුණු 155ක් ඉදිරියෙන් සිටියේය.

නුවර කණ්ඩායම වෙනුවෙන් කැපී පෙනෙන ඉනිම් දෙකක් ක්‍රීඩා කළ ඕෂධ ප්‍රනාන්දු සහ සඳුන් වීරක්කොඩි ශතක ලබා ගැනීමට සමත් වූහ.

තේ පානය සඳහා තරගය නතර කරන විටත් නොදැවී පන්දුවට පහර දෙමින් සිටි ඕෂධ ප්‍රනාන්දු ලකුණු 137 ක් රැස් කර ගෙන සිටි අතර සඳුන් වීරක්කොඩිගේ ශතකයේ ඉනිම ලකුණු 144කදී නිමා විය.

ඒ වන විට සඳුන් සහ ඕෂධ අතර තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 246ක සම්බන්ධතාවයක් වාර්තා වී තිබුණි.

සඳුන් සිය ලකුණු 144 සඳහා පන්දු 154කට පමණක් මුහුණ දී තිබූ අතර හතරේ පහර 18ක් සහ හයේ පහර 4ක් අන්තර්ගත වී තිබුණි.

සඳුන්ට වඩා තරමක් සෙමෙන් ලකුණු රැස් කළ ඕෂධ සිය ලකුණු 137 සඳහා පන්දු 210 කට මුහුණ දී තිබූ අතර එක් හයේ පාරක් සමග හතරේ පහර 15ක් ඔහු එල්ල කර තිබුණි.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කොළඹ කණ්ඩායම ලකුණු 214කට සියලු දෙනා දැවී ගියේය.

නුවර කණ්ඩායමේ දැවී ගිය කඩුලු 4න් කඩුලු 2ක් නිසල තාරකටත් ඉතිරි කඩුලු 2 ලක්ශිත මානසිංහ සහ කලන පෙරේරා අතර බෙදී ගියේය.

Galle Vs Dambulla

ජාතික සුපර් ලීග් සිව් දින ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල සහ ගාල්ල අතර තරගයේ ඊයේ (20 වැනිදා) පළමු ඉනිම ක්‍රීඩා කළ ගාල්ල කණ්ඩායමෙන් දඹුල්ල කණ්ඩායමට එරෙහිව ලකුණු 339 වාර්තා විණි.

මේ අනුව දඹුල්ල කණ්ඩායමට වඩා ගාල්ල කණ්ඩායම ලකුණු 184 ක් ඉදිරියෙන් සිටීමට සමත් වූයේය.

දඹුල්ල කණ්ඩායමේ සියලු පිතිකරුවන් පෙරේදා ලකුණු 155කට දැවී ගිය අතර ගාල්ල කණ්ඩායම පෙරේදා දිනය නිමා වනවිට කඩුලු 3ක් දැවී ලකුණු 90ක් රැස් කර ගෙන සිටියේය. ඊයේ දිනයේ ගාල්ල කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 82ක් ලබා ගත්තේය. මැතිව්ස්ගේ ඉනිමට හතරේ පහර 8ක් ඇතුළත් වූ අතර පන්දු 144ක් ඒ සඳහා ඔහු කඩුල්ලේ රැඳී සිටියේය. නායක රමේෂ් මෙන්ඩිස් සහ කවිශ්ක අංජුල ද ගාල්ල වෙනුවෙන් අර්ධ ශතක දෙකක් ලබා ගත් හ. දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ අසිත ප්‍රනාන්දු සහ විශ්ව ප්‍රනාන්දු කඩුලු 3 බැගින් දවා ගත්හ. චලන ද සිල්වා කඩුලු 2ක් සහ ලක්ෂාන් සඳකැන් සහ නිමේශ් ගුණසිංහ එක් කඩුල්ල බැගින් ලබා ගත්හ. (දිවයින)

Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

Share.
Leave A Reply

Exit mobile version