පන්දු 45 කින් නොදැවී ලකුණු 86 ක් ලබාගත් වමත් පිතිකාරිණි හර්ෂිතා සමරවික්‍රම, අයර්ලන්තයට එරෙහිව පැවැති පළමු වැනි විස්සයි-20 තරගයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කඩුලු හතක විශිෂ්ට ජයක් කරා කැඳවාගෙන ගියාය. තරගය අවසන් වන තුරුත් පිටියේ රැඳී සිටි හර්ෂිතාගේ අපරාජිත ඉනිම හතරේ පහර 15 කින්  සහ හයේ පහරකින් සමන්විත විය. 

අයර්ලන්තයේ ඩබ්ලින් නුවරදී පැවැති මෙම තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් අයර්ලන්ත ක්‍රීඩිකාවෝ නියමිත ඕවර 20 නිමාවේදී කඩුලු 6 ක් දැවී ලකුණු 145 ක් ලබාගත්හ. ලකුණු 146 ක් ලබාගැනීමට ශ්‍රී ලංකා පිතිකාරිණියන්ට අවශ්‍ය වූයේ ඕවර 16.4 ක් පමණි. 

තරග දෙකකින් සමන්විත විස්සයි-20 තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පරාජය නොවන තැනකට ළඟා වී සිටිති. 

පන්දු 33 කින් ලකුණු 39 ක් ලබාගත් ගැබී ලුවිස් අයර්ලන්ත ඉනිමේ බරට කර ගැසූ ක්‍රීඩිකාව වූවාය. ඇයගේ ඉනිම හතරේ පහර 5 කින් සමන්විත වූවද, 13 වැනි ඕවරය දක්වාම ගැබී ලුවිස් පිටියේ සිටියාය. පන්දු 21 කින් ලකුණු 25 ක් ලබාගත් අයර්ලන්ත නායිකා ලෝරා ඩෙලානි, අවසන් ඕවරයට පෙර ඕවරයේදී දුවද්දී දැවී ගියාය. 

පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 83 ක සම්බන්ධතවක් ගොඩනැංවූ විශ්මි ගුණරත්න (30) සහ හර්ෂිතා සමරවික්‍රම (නොදැවී 86) එක්ව තරගය ජයගැනීම සඳහා තමන්ට අවශ්‍ය තාලය සකස් කරගත්හ. 10 වැනි ඕවරයේ අවසන් පන්දුවේදී විශ්මි දැවී ගිය නමුත් පසුපස නොබැලූ හර්ෂිතා, එතැන් සිට ඕවර 6 ක් ඇතුළත තරගය අවසන් කළාය. 
අයර්ලන්ත ක්‍රීඩිකාවන් අතුරින් කිසිවකු විශාල ලකුණු සංඛ්‍යාවක් කරා නොගිය නමුත් ඕව්හු කඩුලු රැකගනිමින් ක්‍රීඩා කළහ. 

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායිකා අනුෂ්කා සංජීවනී පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තාය. අනුෂ්කා නායකත්වය දරන පළමු වැනි අන්තර්ජාතික තරගය මෙයයි. එංගලන්තයේදී පැවැත්වෙන ‘ද හන්ඩ්‍රඞ්’ තරගාවලියට ක්‍රීඩා කරන බැවින් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු මෙම විස්සයි-20 තරග දෙකට සහභාගි නොවන්නීය. 


අයර්ලන්ත කාන්තාවෝ – ඕවර 20 කදී කඩුලු 6 ට 145 යි
(ඇමී හන්ටර් 17, ගැබී ලුවිස් 39, ඔර්ලා ප්‍රෙන්ඩර්ගාස්ට් 29, ලෝරා ඩෙලානි 25, රෙබෙකා ස්ටොකේල් 21, ඉනෝෂි ප්‍රියදර්ශනී 35/2)

ශ්‍රී ලංකා කාන්තාවෝ – ඕවර 16.4 කදී කඩුලු 3 ට 149 යි
(විශ්මි ගුණරත්න 30, හර්ෂිතා සමරවික්‍රම නොදැවී 86, අනුෂ්කා සංජීවනී 12)

Share.
Leave A Reply

Exit mobile version