කෝන් ශාකය යනු?

මිනිසාට වැළඳෙන විවිධ වූ රෝගාබාධයන් ගැන සලකා බලන කල අපට පෙනී යන්නේ මේ රෝග සියල්ලම පාහේ ඇති වීමට බලපාන ප්‍රධානතම හේතුව වා පිත් සෙම් යන තුන්දොස්වල වෙනස් වීම බවයි. මේ නිසා අපගේ ප්‍රතිකාර පද්ධතිය සැකසී තිබෙන්නේ මෙම දෝෂවල වෙනස්කම් මඟ හරවා නියම තත්ත්වයට පත් කිරීම පිණිස වෙයි. මේ සඳහා ශාක සත්ව සහ පාර්ථිව යන කොටස් තුනම යෝග්‍ය අයුරින් යොදා ගනු ලබයි. මේ සඳහා යොදා ගනු ලබන තුරුලතා සමූහය ඉතා විශාල වන අතර ඒ අතුරින් එක් ශාකයක් ලෙස කෝන් ශාකය හැඳීන්විය හැකිය.

ඖෂධීය වශයෙන් මෙම ශාකයේ පංචාංගය විවිධ ඖෂධ යෝග සඳහා ගනු ලබන අතර මෙහි හටගනු ලබන ගෙඩි පලතුරක් ලෙස ප්‍රචලිත වී ඇත. මෙම ශාකය ශී‍්‍ර ලංකාව ඇතුළු උප මහද්වීපයට ආවේණික ශාකයක් වශයෙන් හැඳීන්විය හැකිය.

කෝන් ශාකය වැවෙන ප්‍රදේශ

ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංගලාදේශය, නේපාලය, මියන්මාරය ආදී ආසියාතික රට වල විශේෂයෙන් වියළි කලාපීය වනාන්තරවල බොහෝ සෙයින් දැකිය හැකිය. මෙම රටවල පහත් බිම්වල සහ වියළි පසේ හොඳීන් වැඩෙන ශාකයක් වන මෙම කෝන් ශාකය මුහුදු මට්ටමේ සිට මීටර් 1000 ක් පමණ උසැති බිම්වලද වැඩීමේ හැකියාවක් සහිතය. මෙම කෝන් ගස්වල ආයු කාලය වසර 150 ක් පමණ වන බවද දක්වා ඇත.

කෝන් ශාකයේ ස්වරූපය

මෙය මීටර් 15-25 පමණ උසට වැඩෙන ළඟ අතු පතර ඇති විශාල වෘක්ෂයකි. වැඩි බිම් ප්‍රමාණයක් ආවරණය වන පරිදි අතු පතර විහිදී ඇති නිසා සෙවණ ලබා දෙන ශාකයක් ලෙස හැඳීන්විය හැකිය. මෙම ගසේ කඳ රැලි සහිත පිපිරුණු රළු පොත්තකින් යුක්ත වෙයි. මෙම පොත්ත අළු දුඹුරු පැහැතිය. එමෙන්ම රළු කෘෂ්ඨීය කඳකින් යුතුය. කුඩා පත්‍ර 4-5 අතර ගණනකින් යුතු කුඩා රිකිලි පවතින අතර සෙ.මි.7-18 අතර දිගින් සහ සෙ.මි.3. 5-8 අතර පළලින් යුතු පත්‍ර වෙයි.

පත්‍රවල මතුපිට දිලිසෙන කොළ පැහැයකින් යුතුය. ළපටි පත්‍ර හෝ පති‍්‍රකා ලා රෝස පැහැයෙන් යුතු වේ. මෙහි හටගනු ලබන මල් කුඩා වන අතර කහ පැහැ ගනී.

මෙම මල් පවතින්නේ පොකුරු වශයෙනි. ගෙඩි හටගනු ලබන්නේ ද පොකුරු වශයෙනි. මේවා තරමක් ගෝලාකාර හෝ ඉලිප්සාකාර හැඩයෙන් යුතුය. මේවායේ ඉඳුණු ගෙඩි පලතුරක් ලෙස ප්‍රකට වේ. මෙය ඇඹුල් රස ඇති උෂ්ණ වීර්යයෙන් යුතු පලතුරකි.

කෝන් ශාකය හඳුන්වන නාම

පොදු සිංහල නාමය – කෝන් වන අතර,

සංස්කෘත බසින් – ඥානස්කන්ධ, රක්තම්රා්, කෘමි වාක්ෂ, ලාඛෂාවමක්ෂ, සුකෝෂකා, සුරක්තකා, ඡන්තුපාදපා, වනම්‍රා ආදී නාමයන් රාශියකි.

දෙමළ බසින් – කොන්ජි, කොසුම්, තුම්බරිදි, මරුගක්කොට්ටෙයි ආදී නාමයන් යෙදේ.

ඉංග්‍රීසි බසින් – Ceylon oak/ Kusum tree නම් වේ.

කෝන් වල උද්භිද විද්‍යාත්මක නාමය – Schleichera oleosa (Lour) Oken වන අතර

කුලය Sapindaceae කුලය වේ. කෝන් වල ව්‍යවහාර අංග මුල්, කොළ, පොතු, මල්, ගෙඩි ආදිය වේ.

කෝන්වල පෝෂණීය ගුණ

  • තෙතමනය – ග්‍රෑම් 13.21
  • ප්‍රෝටීන් – ග්‍රෑම් 8.51
  • කාබෝහයිඩ්රේට් – ග්‍රෑම් 33.02
  • මේදය – ග්‍රෑම් 1.25 වශයෙනි.

කෝන්වල ඖෂධාංග සංරක්ෂණ විධි

ගසේ පොතු රැස් කොට වියළා ශුද්ධ භාෂ්න වල අසුරා තබා ගත හැකිය. මුල් ද එසේ කළ හැකිය. මුල් හට ගන්නේ පෙබරවාරි මාසයේ බැවින් මල් නෙළා ගෙන, වියළා, පිරිසිදු, සුලං නොවදින භාජනවල අසුරා තැබිය යුතුය. මේරු ගෙඩිවලින් ඇට ලබා ගත යුතුය.

කෝන්වල ඖෂධීය ගුණ

රසයෙන් තිත්ත වන අතර, ගුණයෙන් රූක්ෂ වේ. වීර්යයෙන් උෂ්ණ වන අතර, විපාකයෙන් කටුක වේ. කෝන් තුන්දොස් දුරුකරන අතර වාතය සහ සෙම සමතුලිතව පවත්වා ගැනීමටද උපකාරී වේ. තවද, මෙහි කාම උද්දීපන ගුණ යුතු අතර, බඩවැල් පිරිසිදු කිරීමේ ගුණයෙන්ද යුක්ත වේ. තවද, කෝන් ගසේ පොත්ත ඥාහී ගුණ යුතු බැවින් අතීසාර හා කොලරා වැනි රෝග අවස්ථා සඳහා ප්‍රයෝග කරයි. එසේම, මෙම පොතු මැලේරියා උණ සහ අනෙකුත් උණ රෝගීන්ට ප්‍රශස්ත ඔසුවක් වන අතර තම්බා බීමෙන් ගුණ ලැබේ. තවද, ඇට වලින් ගනු ලබන තෙල් කේෂ වර්ධනා ලේපයක් ලෙස යොදා ගනු ලබන අතර රෝග සඳහා ආලේප ලෙස ද යොදා ගනියි. එසේම තුනටියේ වේදනා හා දැලවර වේදනා සමනයට ද ආලේප කරයි. එසේම කෝන් කොළ කැඳ කාමලා රෝගීන්ට ගුණ දායක ඖෂධාහාරයකි. තවද, කෝන් කොළ තම්බා හුමාලය ඇල්ලීමෙන් හිසරදය සුව වන අතර සෙම් රෝග සදහා ද ගුණ දායකය.

මේ ආදී වශයෙන් විවිධ වූ රෝගාබාධ රාශියකට ගුණ දෙන කෝන් අගනා වටිනා ඖෂධාහාරයක් ලෙස හැඳින්විය හැකිය.

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්ය වෛද්‍ය මධුර පරණවිතාන මහතාගේ සටහනක් ඇසුරිණි.

එහෙමනම් මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එක ඒ පළ කරන්නත් අමතක කරන්න එපා.

මෙවැනි ආකාරයේ විස්තර සඳහා අපගේ වෛද්‍ය ප්‍රවෘත්ති අංශයට පිවිසෙන්න.

Share.
Leave A Reply

Exit mobile version