තාරකා විද්‍යාව කියන්නේ කියන්නෙ ලෝකයේ තියෙන පැරණිම විද්‍යාවන් අතරින් එකක්. ලෝකයේ ලිඛිත ඉතිහාසයක් හමුවන මුල්ම යුගයේ සිටම මිනිසුන් අහස ගැන, තරු ගැන සොයන්නට පෙලඹුණු බවට සාක්ෂි හමු වනවා. විශේෂයෙන් ම ඊජිප්තු ශිෂ්ටාචාර යුගයේදී ඒ මිනිසුන්, තරකා විද්‍යාව පිළිබඳව විශේෂ උනන්දුවක් දක්වා ඇති බව ට පිරමීඩ තුළ ඇති සිතුවම් සාක්ෂි දරනවා. කාලයාගේ ඇවෑමෙන් ලෝකය ලබාගත් දියුණුවත් සමගම තාරකා විද්‍යාවත් අතිවිශාල දියුණුවක් අත්පත් කරගනු ලැබුවා. අද වන විට ලෝකය තාරකා විද්‍යාවට සම්බන්ධ ව්‍යාපෘති වෙනුවෙන් ඩොලර් මිලියන බිලියන ගණනින් මුදල් වියදම් කරනවා.

පොදුවේ ඕනෑම කෙනෙකුට නැගිය හැකි සාධාරණ ගැටලුවක් තමයි, ඇයි මිනිසුන් තාරකා විද්‍යාව ඉගෙන ගන්නේ සහ ඇයි මෙතරම් මුදලක් තාරකා විද්‍යාව වෙනුවෙන් වැය කරන්නේ කියන කාරණය.

පළවෙනි ම හේතුව තමයි, වෙනත් ඕනෑම විෂයක් සම්බන්ධයෙන් ද අදාළ, මිනිසුන්ට තිබෙන “කුතුහලය”. අතීතයේ සිට ම මිනිසා තම කුතුහලය ඔස්සේ යමින් පෘතුවිය ගෝලාකාර බව, පෘථිවිය සූර්යයා වටා පරිභ්‍රමණය වන බව ආදී වූ විශිෂ්ට සොයා ගැනීම් සිදු කරමින් අද වන විට, ජීවයේ ආරම්භයේ සිට විශ්වයේ ආරම්භය දක්වා වූ පුළුල් විෂය පථයන් අධ්‍යනය කරමින් සිටිනවා. මෙයට ප්‍රධානම හේතුව තමයි මිනිසා තුළ පවතින “කුතුහලය”.

මීළඟ ප්‍රධානම හේතුව තමයි, විශ්වයේ අප මෙන්ම ජීවය තිබෙන වෙනත් ග්‍රහලෝක තිබේද යන්න සොයා ගැනීම. ලෝකයේ බොහෝ විද්‍යාඥයින් මත පළ කරන්නේ පෘථිවියේ ජීවය ආරම්භ වීම අහම්බයක් විය නොහැකි බව සහ මේ සම්බන්ධ ලෝකයේ සුප්‍රසිද්ධ එක් මතයක් වන Drake Equation එක අනුව ක්ෂීර පථය තුළ, සන්නිවේදනය කළ හැකි, දියුණු, ජීවී වාසස්ථාන 10,000 පමණ පැවතීමේ සම්භාවිතාවක් ද පවතිනවා. එනිසා තාරකා විද්‍යාව හදාරන්නන්ගේ ප්‍රධානම අරමුණක් තමයි ජීවය පවතින එකදු ග්‍රහ ලෝකයක් හෝ සොයා ගැනීම.

මීළඟ සුප්‍රසිද්ධම කාරණය තමයි , පෘථිවියේ යම් දිනක ජීවත් වීමට අහිතකර තත්ත්වයක් හෝ ජනගහණය අධික වීම මගින් පෘථිවිය මත ඉඩ කඩ ඇහිරී යාමක් වැනි තත්ත්වයක් ඇති වුවහොත් අපගේ ජනාවාස වෙනත් ග්‍රහ ලෝකයක් මතට (සඳ හෝ අඟහරු මතට) ගෙන යාම. ඇමරිකාවේ පිහිටි SpaceX ආයතනයේ, අඟහරු මත ජනාවාස ඇති කිරීමේ ව්‍යාපෘතිය නිසා අද වන විට මේ කාරණයට ලෝකය ඉතා විශාල ප්‍රසිද්ධියක් ලැබී තිබෙනවා.

මෙම හේතූන්ට අමතරව තාරකා විද්‍යාව වෙනුවෙන් පර්යේෂණ සිදුකිරීම නිසා මිනිසාට ලැබුණු තවත් ප්‍රතිලාභ විශාල ප්‍රමාණයක් තිබෙනවා. උදාහරණ විදිහට බොහෝ camera, webcams හා cell phones වල භාවිතා කරන CCD (Charge – Coupled Device) තාක්ෂණය, මූලිකවම තාරකා විද්‍යාව වෙනුවෙන් සොයා ගත් තාක්ෂණයක්. ඒවගේම FedEx වැනි courier service දෙන ආයතන, තමන්ගේ packages track කිරිම සඳහා යොදා ගන්නා Forth නම් පරිගණක භාෂාව මූලිකවම දුරේක්ෂයක් සඳහා නිර්මාණය කරන ලද භාෂාවක්. ඒවගේම Kodak film එක මුලදි සූර්යයා අධ්‍යනය කිරීම සඳහා තාරකා විද්‍යාඥයන් විසින් නිපදවූවක්. CAT scanners සහ MRI scanners වල යොදා ගන්නා Aperture synthesis කියන තාක්ෂණය මුල දී දුරේක්ෂ මගින් සුපැහැදිලි ඡායාරූප ලබා ගැනීම සඳහා නිර්මාණය කරන ලද්දක්. ලෝකයේ සෑම ගුවන්තොටුපලකම පාහේ ඇති X-ray luggage belt එක මූලිකවම තාරකා විද්‍යාවට සම්බන්ද X-ray නිරීක්ෂණාගාර වල දී යොදාගත් තාක්ෂණයක්. තව මෙවැනි ප්‍රයෝජන රාශියක් තාරකා විද්‍යාව නිසා මිනිස් ජන ජීවිතයට ලැබුනා. (Astrolearn)

ඔබට සිතෙනා ආකාරයට තාරකා විද්‍යාව ඉගෙනගත යුත්තේ ඇයි?

එහෙමනම් මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එක ඒ පළ කරන්නත් අමතක කරන්න එපා.

Buzzer.lk සහ Buzzer Science & Technology සමඟ සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම විස්තර දැන ගන්න.

Share.
Leave A Reply

Exit mobile version