විශ්‍රාමික යුද හමුදා සෙබලෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ 2018.09.09 දින නාරංගස්පිටිය, කිරිඳිවැල ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම විශ්‍රාමික යුද හමුදා සෙබළා පැහැරගෙන ගොස් අතුරුදන් කළ බවට පොලිස්පතිවරයාට ලද පැමිණිල්ලක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ මඟින් ආරම්භ කළ විමර්ශනයකින් අනතුරුවය.
ඒ අනුව, ඊයේ (08) දින නිට්ටඹුව පොලිස් වසමේ රණ්පොකුණුගම ප්‍රදේශයේදී මෙම අපරාධයට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අවුරුදු 47ක් වන රණ්පොකුණුගම, නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු සන්තකයේ තිබී විදෙස් රටක නිෂ්පාදිත පෑනක හැඩයෙන් යුත් කුඩා ගිනිඅවියක් එයට යොදන පතරොම් 05ක්, ටී-56 පතරොම් 04ක්, මිලිමීටර් 09 වර්ගයේ පතරොම් 08ක් හා බෝර 12 වර්ගයේ පතරොම් 02 ක් විමර්ශන නිලධාරීන් විසින් පොලිස් භාරයට ගෙන ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.


