ආනයන කටයුතුවලට අදාළ විදේශ මුදල් ගෙවීම් වඩාත් කාර්යක්ෂමව අධීක්ෂණය කිරීම සඳහා, අද (19) සිට ක්‍රියාත්මක වන පරිදි නව නියාමන රෙගුලාසි ඇතුළත් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ආනයන හා අපනයන (පාලන) පනත යටතේ මෙම නව රෙගුලාසි පනවා ඇත. 

ආනයන ක්ෂේත්‍රයේ විනිවිදභාවය ඉහළ නැංවීම සහ විදේශ විනිමය පිටතට ගලායාම විධිමත් ලෙස නිරීක්ෂණය කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.

ඒ අනුව මින් ඉදිරියට ආනයන ගනුදෙනු සඳහා සිදු කරන සෑම ගෙවීමකටම බැංකු මඟින් විශේෂ ගනුදෙනු අංකයක් ලබා දිය යුතුය.

එමෙන්ම ගනුදෙනු සම්බන්ධ සියලු තොරතුරු ශ්‍රී ලංකා රේගුව වෙත දැනුම්දීමද අනිවාර්ය කර ඇත.

මීට අමතරව ආනයනකරුගේ බදු හඳුනාගැනීමේ අංකය (TIN), ලිපිනය, ප්‍රතිලාභියාගේ තොරතුරු, බැංකු හා ශාඛා කේත, ගෙවීම් මුදල, මුදල් ඒකකය, ගෙවීම් සහ භාරදීමේ කොන්දේසි, ගෙවීම් දිනය, Proforma Invoice අංකය සහ ආනයනය කරන භාණ්ඩ විස්තර ඇතුළු තොරතුරු බැංකු මඟින් රේගුව වෙත ලබා දිය යුතුය.

අදාළ නිවේදනයට අනුව භාණ්ඩ ආනයනය සඳහා අත්තිකාරම් ගෙවීම් සිදු කිරීමට පෙර ආනයනකරුවන් ශ්‍රී ලංකා රේගුවේ සුදුසුකම් ලත් ආනයනකරුවෙකු ලෙස ලියාපදිංචි වීම අනිවාර්ය කර තිබේ.

ලියාපදිංචිය නොමැති ආනයනකරුවන් සඳහා වාණිජ බැංකුවලට අත්තිකාරම් ගෙවීම් සිදු කිරීමට අවසර නොලැබෙන බවද නව රෙගුලාසිවල සඳහන් වේ.

Share.
Leave A Reply

Exit mobile version