2024 සැප්තැම්බර් මස 03 වන දින ගාල්ල සිට නාවික සැතපුම් 241 ක් පමණ (කිලෝමීටර් 501) ගැඹුරු මුහුදේදී අනතුරට පත් “නිහතමානි 01” බහුදින ධීවර යාත්‍රාවේ සිටි, “ලසන්ත 01” බහුදින ධීවර යාත්‍රාව මඟින් මුදවා ගත් ධීවරයින් සිව් දෙනා (04) ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව වෙත ගැඹුරු මුහුදේදී ලබාගැනීමෙන් අනතුරුව, වැඩිදුර ප්‍රතිකාර සඳහා 2024 සැප්තැම්බර් මස 04 වන දින ගාල්ල වරාය වෙත රැගෙන විත් කරාපිටිය ශික්‍ෂණ රෝහල වෙත යොමු කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදා මූලස්ථානයේ පිහිටි කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත 2024 සැප්තැම්බර් මස 03 වන දින සිදුකල දැනුම්දීකට අනුව ගැඹුරු මුහුදේදී අනතුරටපත් “නිහතමානි 01” බහුදින ධීවර යාත්‍රාවෙන් මුදවා ගත් ධීවරයින් සිව් දෙනෙකු (04) කඩිනමින් ගොඩබිමට රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව එම මුහුදු ප්‍රදේශය වෙත පිටත්කර යැවීමට 2024 සැප්තැම්බර් මස 03 වන දින නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

ඒ අනුව, ගාල්ල සිට නිරිත දෙසින් නාවික සැතපුම් 158 ක් පමණ (කිලෝමීටර් 292) දුරකදී “ලසන්ත 01” බහුදින ධීවර යාත්‍රාව මඟින් මුදවා ගෙන රැගෙන ආ ධීවරයින් සිව් දෙනා (04) 2024 සැප්තැම්බර් මස 04 වන දින උදෑසන ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව වෙත ලබාගැනීමෙන් අනතුරුව, ගජබාහු නෞකාව තුලදී නාවික හමුදා වෛද්‍ය කණ්ඩායමක් මඟින් ප්‍රතිකාර ලබාදෙමින් ගාල්ල වරාය වෙත රැගෙනවිත්, මෙලෙස වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්‍ෂණ රෝහල වෙත යොමු කිරීමට කටයුතු කෙරිණි. 

තවද, ශ්‍රී ලංකාවට අයත් සමුද්‍රීය සෙවීම් මුදවා ගැනීම් කලාපය තුල ආපදාවට පත්වන නාවික හා ධීවර ප්‍රජාවට අවශ්‍ය සහය සැලසීම සඳහා නාවික හමුදාව නිරන්තර සූදානමින් සිටියි.

Share.
Leave A Reply

Exit mobile version