කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අසල ආරක්ෂාව මේ වන විට තර කර ඇති බව වාර්තා වේ.

අද දෙරණ වාර්තාකරු සඳහන් කළේ, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් විශාල පිරිසක් අධිකරණ පරිශ්‍රය සහ ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා යොදවා ඇති බවය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් වෙත ඉදිරිපත් කර වෛද්‍ය වාර්තාවක් කැඳවීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස නීතිපතිවරයා විසින් කළ ඉල්ලීම සම්බන්ධයෙන් වන නියෝගය අද (10) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ඉදිරිපත් කළ මෝසමක් පසුගිය ජූනි 4 වනදා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ සලකා බැලීමෙන් අනතුරුව මෙම කරුණ පිළිබඳ නියෝගය අද දිනයේ ලබාදීමට අධිකරණය තීරණය කර තිබුණි.

එහිදී අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා කළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබුණි. 

Share.
Leave A Reply

Exit mobile version