ජනාධිපතිවරණයේදී අපේක්‍ෂකයකුට ඡන්දදායකයකු සඳහා වියදම් කළ හැකි උපරිම මුදල රුපියල් 109ක් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවැසීය.
ඒ අනුව 2023 අංක 03 දරන මැතිවරණ වියදම් පනතට අනුව මෙම මුදල් සීමාව සඳහන් කරමින් ගැසට් නිවේදනය ඊයේ (19දා) රාත්‍රියේ නිකුත් කෙරිණ.
මේ සම්බන්ධයෙන් ජනාධිපති අපේක්‍ෂකයන් සහ දේශපාලන පක්‍ෂවල නියෝජිතයන් මැතිවරණ කොමිෂන් සභාව වෙත පසුගියදා කැඳවා අදහස් විමසීමක් සිදුකළ බව රත්නායක මහතා ප්‍රකාශ කළේය.
පසුගිය සතියේ ඊට අදාළව පැවැති සාකච්ඡාවලදී වියදම් සීමා පිළිබඳව අපේක්‍ෂකයන් ඉල්ලීම් ඉදිරිපත් කළ බව මැතිවරණ කොමිසමේ සභාපති රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ඒ අනුව එක්කෝටි හැත්තෑ එක්ලක්‍ෂ හතළිස් දහස් තුන්සිය පනස් හතරක් වූ සමස්ත ඡන්දදායකයන් වෙනුවෙන් එක් අපේක්‍ෂකයකුට වියදම් කළ හැකි උපරිම මුදල් සීමාව වන්නේ රුපියල් මිලියන 1862කි. (කෝටි 186කි)
මැතිවරණ වියදම් සීමා සම්බන්ධයෙන් අපේක්‍ෂකයන්ගේ නියෝජිතයන් මැතිවරණ කොමිසමට යෝජනා ඉදිරිපත් කර තිබූ අතර එහිදී එක් අපේක්‍ෂකයකු ඡන්දදායකයකු සඳහා රුපියල් දහසක මුදලක් යෝජනා කර තිබුණේ යැයි මාධ්‍ය වාර්තා කළේය.
එසේම ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස යන අපේක්‍ෂකයන්ගේ නියෝජිතයන් රුපියල් 250ක්ද, ජාතික ජන බලවේගයේ අපේක්‍ෂක අනුර කුමාර දිසානායක මහතාගේ නියෝජිතයා රුපියල් 200.00ක්ද යෝජනා කර තිබිණි.
තවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක නාමල් රාජපක්‍ෂ මහතාගේ පාර්ශ්වය රුපියල් 300.00ක් යෝජනා කරද්දී ආචාර්ය විජයදාස රාජපක්‍ෂ හා ජනක රත්නායක යන අපේක්‍ෂකයන්ගේ නියෝජිතයන් යෝජනා කර තිබුණේ රුපියල් 20.00ක මුදලකි.