දිට්වා සුළි කුණාටුවෙන් දෙමව්පියන් අහිමි වූ දරුවන් රැක බලාගැනීම වෙනුවෙන් වූ මාසික දීමනාව කඩිනමින් ලබාදෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
අදාළ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව සිදුකළ සමාලෝචනයෙන් අනතුරුව එම දීමනාව කඩිනමින් ලබාදීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයට අදාළව 2026 වර්ෂයේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කර තිබේ.
වීදි ළමුන් සඳහා වන ජීවන වියදම් දීමනාව, ගර්භණී මව්වරුන් සඳහා පෝෂණීය ආහාර දීමනාව, පෙරපාසල් ළමුන් සඳහා උදෑසන ආහාර ලබාදීමේ වැඩසටහන, පෙර පාසල් ගුරුවරුන් සඳහා වන ගුරු අභිමානී දීමනා වැඩසටහන ඇතුළු වැඩසටහන්වල ප්‍රගතිය මෙහිදී විමසා බලා ඇති බව සඳහන්ය.
ගර්භණී මව්වරුන්ගේ පෝෂණය සහතික කිරීම ඉලක්ක කර ගනිමින් ගර්භණී මව්වරුන් සඳහා ලබාදෙන පෝෂණීය ආහාර දීමනාව නිසි අධීක්ෂණයක් යටතේ ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී තිබේ.
සමාජය තුළ සිටින අනාරක්ෂිත දරුවන් හඳුනාගැනීමේ සහ ඔවුන් එම තත්ත්වයෙන් මුදාගැනීම සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය යටතේ ක්‍රියාත්මක වැඩසටහනේ ප්‍රගතිය සහ ක්‍රියාකාරීත්වය ද මෙහිදී සාකච්ඡාවට ලක්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මුදල් කොමිෂන් සභාව සඳහා නව සභාපතිවරයෙකු සහ සාමාජිකයින් පත්කර තිබේ.
මුදල් කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස එන්.ආර් අනීස් මහත්මිය පත්කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
එහි සෙසු සාමාජිකයින් ලෙස ජේ.එම්.සී.ජේ. විජේතුංග සහ කේ. කරුණාහරන් යන මහත්ම මහත්මීන් පත්කර තිබේ.
මුදල් කොමිෂන් සභාවේ සාමාජිකයින්ගේ ධුර කාලය අවසන් වීම මත පුරප්පාඩුව පැවති ධුර වෙනුවෙන් මෙම පත්වීම් සිදුකර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
