මුහුණු පොත ඔස්සේ ප්‍රසිද්ධ කර වාහන විකුණා නැවත එම රථ මංකොල්ලකෑමට සම්බන්ධ සැකකරුවෙකු බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, යක්කල ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි අයෙකි.
රුපියල් ලක්ෂ හතලිහක් ගෙවා මිලදී ගත් වෑන් රථයක් ගිනි අවි රැගත් පිරිසක් විසින් මංකොල්ලකෑ බවට ජුලි මස පළමුවෙනිදා පොලිස්පති සහන මැදිරිය වෙතට පුද්ගලයෙකු විසින් පැමිණිල්ලක් සිදු කර තිබුණි.
මේ පිළිබඳව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ විමර්ශන ආරම්භ කළහ.
ඒ අනුව මෙම අපරාධයට බැලුම්මහර, මුදුන්ගොඩ ප්‍රදේශයේ පිහිටි වාහන අලෙවිසැලක හිමිකරුවෙකු ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු පමණ සම්බන්ධ බවට අනාවරණය කරගෙන ඇත.
එහිදී අදාළ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු පසුගිය 13 වෙනිදා යක්කල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය නිවේදනය කළේය.
සැකකරුවන් විසින් වාහන විකිණීම සඳහා මුහුණු පොත ඔස්සේ දැන්වීම් පල කර, වාහන විකිණීමෙන් පසු සංවිධානාත්මකව එම වාහනය පසුපස හඹා ගොස් මං කොල්ලකෑම සිදුකර ඇති බවට මූලික විමර්ශනයේදී අනාවරණවී ඇත.
මෙම මංකොල්ලයට සම්බන්ධ බවට සැක කරන වාහන අලෙවිසැලේ හිමිකරු ඇතුලු අනෙක් සැකකරුවන් මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව සඳහන්ය.
නිට්ටඹුව පොලිස් වසමේ කළගෙඩිහේන ප්‍රදේශයේ පිහිටි වාහන අලෙවිසැල් හිමිකරුගේ නිවසේ තිබූ කඩු 02ක්, පිස්තෝල මැගසින් 02ක්, එම ජීව පතරොම් 03ක් හා ජිප් රථයක් විමර්ශන නිලධාරින් සිය භාරයට ගෙන තිබේ.
මෙවැනි ආකාරයේම සිදු කරන ලද මංකොල්ලකෑම් දෙකක් සම්බන්ධයෙන්ද මොවුන්ට විරුද්ධව පැමිණිලි ලැබී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (14) දින ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට (16) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර කිරීමට නියෝග කෙරුණි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය විසින් සිදු කරනු ලබයි.
