2015 වසරේ මුල්ලේරියාව ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී ගිනිඅවි පෙන්වා නිවසේ හිමිකරුට තර්ජනය කර එම නිවසේ තිබූ මෝටර් රථයක් පැහැරගෙන ගොස් රුපියල් 20,000/- මුදලක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තාට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ වැඩිදුර විභාගය ජූලි මස 15 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

මෙම නඩුව අද (20) කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා මහතා නිවාඩු ලබා සිටීම හේතුවෙන් මෙම නඩුවේ විභාගය සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව නඩුවේ වැඩිදුර විභාගය ජූලි මස 15 වන දා දක්වා කල් තැබීමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා ඊයේ දින අධිකරණයේ පෙනී සිටි ඉන්ද්‍රාණී ඩයස් නමැති සාක්ෂිකාරියට එදින අධිකරණයේ පෙනී සිටි ලෙස දන්වා අවවාද කළේය.

විත්තිකරු අධිකරණයට රැගෙන යන හා ඉන් පිටතට රැගෙන ගිය අවස්ථාවේදී ත්‍රස්ත විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් ඔහුට මාධ්‍යවලට කතා කිරීමට නොහැකි වන පරිදි ආවරණය කර රැගෙන යාම කැපී පෙනෙන සිද්ධියක් වුණි.

2015 වසරේ ජුනි මස 10 වනදා මුල්ලේරියාව ප්‍රදේශයේ නිවසකට කඩා වැදී නිවෙස් හිමියාට ගිනිඅවි පෙන්වා තර්ජනය කර එහි තිබූ මෝටර් රථයක් පැහැරගෙන යාම සහ රුපියල් විසි දහසක මුදලක් කොල්ලකෑම සම්බන්ධයෙන් හරක් කටා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබේ.

Share.
Leave A Reply

Exit mobile version