ඉදිරියේදී ගෝලීය වශයෙන් ඇති විය හැකි ‘එල්-නිනෝ’ දේශගුණික තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට එල්ල විය හැකි බලපෑම් කළමනාකරණය කර ගැනීම සහ ඒ සඳහා පූර්ව සූදානම විධිමත් කිරීම වෙනුවෙන් ආහාර ප්‍රතිපත්ති සහ සුරක්ෂිතතා කමිටුවේ විශේෂ රැස්වීමක් ඊයේ (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබේ.
මෙම විශේෂ සාකච්ඡාව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, ඒ සඳහා අදාළ රේඛීය අමාත්‍යාංශ සහ ආයතන ප්‍රධානීන් එක්ව සිටියහ.
මෙහිදී එල්-නිනෝ තත්ත්වය හේතුවෙන් මෙරට කෘෂිකර්ම ක්ෂේත්රයට ඇති විය හැකි බලපෑම පිළිබඳව දීර්ඝ ලෙස අවධානය යොමු කළ බව සඳහන් වේ.
විශේෂයෙන්ම ඉදිරියේදී එළඹෙන යල කන්නයට අවශ්‍ය ජලය ජලාශවල කල්තියා ගබඩා කර ගැනීම සහ ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් ගත යුතු පියවර මෙහිදී සාකච්ඡා කර තිබේ.
ඒ පිළිබඳව අදාළ ආයතනවල නිලධාරීන්ගේ අදහස් සහ යෝජනා කඩිනමින් ලබා දෙන ලෙස වෙළෙඳ සහ ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මෙහිදී උපදෙස් ලබා දී ඇත.
එල්-නිනෝ අවදානමට මුහුණ දිය යුතු ආකාරය පිළිබඳ නිශ්චිත සැලසුම් සකස් කර ඉදිරිපත් කිරීම සඳහා ඉදිරියේදී ආහාර ප්‍රතිපත්ති සහ සුරක්ෂිතතා කමිටුවේ විශේෂ රැස්වීමක් නැවත කැඳවීමට තීරණය කර තිබේ.
එදිනට තමන් සතු ක්‍රියාකාරී සැලසුම් ඉදිරිපත් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඇතුළු රේඛීය ආයතන වෙත අමාත්‍යවරුන් විසින් පවසා ඇත.
ස්වභාවික ආපදා කිසිසේත් කල්තියා නිශ්චිතව පුරෝකථනය කළ නොහැකි වුවත්, ඇති විය හැකි ඕනෑම තත්ත්වයකට මුහුණ දීම සඳහා කල්තියා සැලසුම් සකස් කිරීම රජයේ වගකීමක් බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මෙහිදී අවධාරණය කළේය.
