ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO පසුගියදා දික්ඕවිටදී දියත් කරන ලද සමුද්‍ර ඉංජිනේරු වැඩපොළ හරහා, සිය වාර්ෂික පොත් බෙදා දීමේ වැඩසටහන ධීවර අංශයේ ප්‍රජාවන් සඳහා ද ව්‍යාප්ත කරන ලදී.

මෙම ආයතනයේ හි තිරසාර වැඩසටහනට අනුව අවස්ථාවන් සහ හවුල්කාරිත්වයන් වර්ධනය කිරීම තුලින් ශක්තිමත් ප්‍රජාවක් ගොඩනැගීමේ අරමුණෙහි එක් පියවරක් ලෙස මෙම පොත් බෙදා දීමේ වැඩසටහන හැඳින්විය හැකිය. සැමට සාධාරණ ගුණාත්මක අධ්‍යාපනයක් සහතික කිරීම අරමුණු කරගත් තිරසාර සංවර්ධන ඉලක්ක (SDG) #4ද මෙම වැඩසටහන තුලින් ඉස්මතු වේ. වාර්ෂිකව මෙම ආයතනයේ හි විවිධ අංශ ස්ථාපිත වී ඇති සියඹලාපේ, වැලිවේරිය සහ තොටළඟ යන ප්‍රදේශවල ළමුන් අතර පාසල් පොත් බෙදා දීම සිදු කරයි.

ධීවර අංශය සහ ඒ ආශ්‍රිත ප්‍රජාවන් ආර්ථික සංවර්ධනය උදෙසා මහඟු ක්‍රියාවලියක් ඉටු කරනු ලබයි. විවිධ වූ ප්‍රජාවන් අතර ධනාත්මක බලපෑමක් ඇති කිරීමේ අරමුණ ඇතිව මෙම වසරේදී DIMO සිය පොත් බෙදා දීමේ ව්‍යාපෘතිය ධීවර අංශයේ ප්‍රජාවන් වෙත ද ව්‍යාප්ත කර ඇත.

DIMO හි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා මෙම ව්‍යාපෘතිය පිළිබඳව මෙසේ සිය අදහස් දැක්වීය. “DIMO ධීවර ක්ෂේත්‍රයේ ප්‍රජාවන් සඳහා ක්‍රියාත්මක කරන ලද පළමු සමාජ සත්කාර වැඩසටහන මෙයයි. දිළිඳුකම තුරන් කිරීම සහ ජිවන තත්වය ඉහළ නැංවීම උදෙසා අධ්‍යාපනයේ ඇති වැදගත්කම අපි මැනවින් හඳුනාගෙන තිබෙනවා. මෙවැනි වැඩසටහන් තුලින් මෙම ප්‍රජාවන්ගේ සිහින සහ අභිලාෂයන් බලගැන්වීමට අපෙන් අවැසි දායකත්වය සැපයීමට අපි ඉදිරියටත් කටයුතු කරනවා.”

“DIMO සිය විශිෂ්ට ඉංජිනේරු විසඳුම් තුළින් දේශීය ධීවර ක්ෂේත්‍රය නඟා සිටුවීමට විශාල දායකත්වයක් සපයනු ලබනවා. මෙම වැඩසටහන් තුලින් ධීවර ක්ෂේත්‍රයේ ප්‍රජාවන්ගේ සමාජ හා ආර්ථික සංවර්ධනය සඳහා ඔවුන්ගේ කැපවීම මනා ලෙස පිළිබිඹු වෙනවා.” දික්ඕවිට වරායේ උතුරු පර්යන්තයේ දේශීය වරාය කළමනාකාර සුමුදු දහනායක මහතා මෙසේ සිය අදහස් දැක්වීය.

මෙම පොත් බෙදා දීමේ අවස්ථාවට DIMO සමූහ ප්‍රධාන විධායක නිලධාරී ගහනාත් පණ්ඩිතගේ, DIMO හි අධ්‍යක්ෂ සහ ප්‍රධාන මූල්‍ය නිලධාරී සුරේෂ් ගුණරත්න, DIMO හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරි – අලෙවියෙන් පසු සේවා මහේෂ් කරුණාරත්න, DIMO හි ප්‍රධාන අලෙවි නිලධාරි දිනුක් පීරිස්, දික්ඕවිට ධීවර වරාය උතුරු පර්යන්තයේ දේශීය වරාය කළමනාකරු සුමුදු දහනායක සහ දික්ඕවිට ධීවර වරාය දකුණු පර්යන්තයේ ජාත්‍යන්තර වරාය කළමනාකරු පසිඳු සඳරුවන් යන මහත්වරුන් සහභාගී විය.

Buzzer.lk සහ Buzzer Financial හා සම්බන්ධ වෙමින් තවත් මෙවැනිම විස්තර දැනගන්න.

Share.
Leave A Reply

Exit mobile version