මූල්‍ය ස්ථායීතා මණ්ඩලයෙහි (Financial Stability Board) ආසියානු කලාපීය උපදේශක කණ්ඩායම (Regional Consultative Group for Asia) 2025 මැයි 22 වන දින කොළඹ දී රැස් විය. 2024 අප්‍රේල් මාසයේ දී ආසියානු කලාපීය උපදේශක කණ්ඩායම් රැස්වීම සාර්ථකව පැවැත්වීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා මහ බැංකුව මෙම රැස්වීමෙහි සත්කාරකත්වය දැරූ දෙවන අවස්ථාව මෙය විය.
මෙම රැස්වීමේ සම සභාපතිත්වය ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ හොංකොං මූල්‍ය අධිකාරියේ ප්‍රධාන විධායක එඩී යූ මහතා විසින් දරන ලදී. ඕස්ට්‍රේලියාව, බෲනායි දරුස්සලාම්, කාම්බෝජය, චීනය, හොංකොං, ඉන්දියාව, ඉන්දුනීසියාව, ජපානය, කොරියාව, මැලේසියාව, පාකිස්ථානය, පිලිපීනය, සිංගප්පූරුව, ශ්‍රී ලංකාව, තායිලන්තය සහ වියට්නාමය යන රටවල නියෝජිතයන් රැස්වීමට සහභාගී වූ අතර මූල්‍ය ස්ථායීතා මණ්ඩලයේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ නියෝජිතයන් ද සහභාගී විය.
රැස්වීමේ දී සාකච්ඡා කරන ලද කරුණු අතර මූල්‍ය පද්ධති ස්ථායීතාවයට අදාළ පුළුල් පරාසයක ගැටළු ආවරණය විය. සාකච්ඡා වූ කරුණු අතර ගෝලීය සහ කලාපීය මූල්‍ය අවදානම්, ජාත්‍යන්තර ගෙවීම් වැඩිදියුණු කිරීමේ ප්‍රයත්නයන්, බැංකු නොවන මූල්‍ය අතරමැදිකරණයට අදාළ වර්ධනයන් සහ අවදානම් මෙන්ම සුරැකුම්කරණ වෙළඳපොළවලට අදාළ නියාමන ප්‍රතිසංස්කරණ යන ප්‍රධාන මාතෘකා ඇතුළත් විය. රැස්වීමට සහභාගී වූ සාමාජිකයන් විසින් සිය අත්දැකීම් බෙදාගැනීමත්, ඇතිවිය හැකි අවදානම් හඳුනාගැනීමත් සහ කලාපය පුරා මූල්‍ය අවදානම්වලට ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා සහයෝගී ප්‍රවේශයන් සොයාබැලීමත් සිදු කරන ලදී.
මූල්‍ය ස්ථායීතා මණ්ඩල ප්‍රඥප්තිය යටතේ පිහිටුවා ඇති කලාපීය උපදේශක කණ්ඩායම් හයක් මූල්‍ය ස්ථායීතා මණ්ඩලය සතුව ඇති අතර, මූල්‍ය ස්ථායීතා මණ්ඩල සාමාජික සහ සාමාජික නොවන රටවල මූල්‍ය අධිකාරීන්ගේ එකමුතුවෙන් මූල්‍ය පද්ධතිවලට බලපාන දුර්වලතා සහ මූල්‍ය ස්ථායීතාවය ප්‍රවර්ධනය කිරීමේ මුලපිරීම් පිළිබඳ අදහස් හුවමාරු කරගනු ලැබේ.