ගාල්ල නගරයේ ජනප්‍රිය විදුහලක 7වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන දොළොස් හැවිරිදි සිසුවකු විසින් යාබද බාලිකා විදුහලේ සිසුවියන් සිව් දෙනෙකු ‘බ්ලේඩ් එකකින්’ කපා තුවාල සිදුකර ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.

වයස අවුරුදු 09, 12 සහ 15 වයස්වල පසුවන සිසුවියන් හතරදෙනකුට මෙසේ තුවාල සිදුකර ඇතිබවයි කියැවෙන්නේ. එක් සිසුවියකගේ අතට මැහුම් දැමීමට පවා සිදුව ඇති බව ද පොලිසිය පවසයි.

පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇති ආකාරයට පාසලේ විද්‍යාගාරයේ ක්‍රියාකාරකමට වද මලක් සහ ‘බ්ලේඩ්’ එකක් ගෙන එන ලෙස ගුරුවරයා පවසා ඇත. ඒ අනුව සිසුන් විසින් ඒවා ගෙනැවිත් ඇත. මේ අතර විද්‍යාගාරයේ ක්‍රියාකාරකම් අවසන් වීමෙන් පසු පාසල ඇරී යන විට ‘බ්ලේඩ්’ එකෙන් සිසුවියන් කැපීමට සිසුන් තිදෙනකු කතිකා කර ගෙන ඇත.

කෙසේ නමුත් පාසල නිමවී යන අවස්ථාවේදී අනෙක් සිසුන් දෙදෙනා මෙය මගහැර ගොස් ඇති අතර මෙම සිසුවා පමණක් සිසුවියන් හතරදෙනෙකුගේ අත් ‘බ්ලේඩ්’ එකෙන් කපා පලාගොස් තිබේ.

පොලිසිය පැවසුවේ මෙම සිසුවා තවමත් දොළොස් හැවිරිදි වියේ පසුවන නිසා කරාපිටිය රෝහලේ බහු විෂය කමිටුවට ඉදිරිපත් කොට වාර්තාවක් ලබා ගැනීමට නියමිත බවය.

ගාල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

Share.
Leave A Reply

Exit mobile version