ආසියාවේ පිහිටි විශාලතම කාන්තාරය වන ගෝබි කාන්තාරය ලොව කාන්තාර අතුරින් ඉමහත් ප්‍රසිද්ධියක් උසුලයි. කාන්තාරයක් යැයි පැවසූ විට බොහෝදෙනා බලාපොරොත්තු වන්නේ වැලිකඳු සහිත භූමියක් වුවත් මෙම ගෝබි කාන්තාරේ එවැනි වැලිකඳු සහිත ප්‍රමාණය සමස්ත භූමි ප්‍රමාණයෙන් සියයට පහක් පමණක් බව ඔබ දන්නවාද? පුදුමයි නේද? මේ කාන්තාරය ඇත්ත වශයෙන්ම සාරවත් වන ගහණයන් ගෙන් යුත් කඳු වැටි සහිතයි. එසේම තණකොළ උසට වැඩුණු ශුෂ්ක භූමි වලින්ද යුක්තයි.

ගෝබි කාන්තාරය රටවල් දෙකකට පැතිර පවතින කාන්තාරයක් වෙනවා. එහි එක් පැත්තක් මොංගෝලියාවේ දකුණු දෙසට පැතිර යන අතර අනෙක් කොටස චීනයේ උතුරු හා වයඹ ප්‍රදේශ කරා පැතිරී යනවා. මොංගෝලියානු කාන්තාරය කලාපය මොංගෝලියාව තුළම එහි භූමි ප්‍රමාණයෙන් සියයට තිහක් පමණ අත්පත් කරගෙන තිබෙනවා. 2019 වසරේ ප්‍රකාශයට පත්කර ඇති ලොව අඩු වියදම් සංචාරක ස්ථානවල 18 වන තැන හිමිකරගෙන ඇත්තේ මෙම මොංගෝලියානු ක්ෂේම භූමියයි.

මෙම ප්‍රදේශයේ සංචාරය කරන්නෙකුට අනෙක් ස්ථානවලට සාපේක්ෂව ඉතා ඉහළ ආගන්තුක සත්කාර හිමි වන්නේ ගෝබි ක්ෂේම භූමියේ ජීවත්වන ජනතාව හමුවීමට එන අමුත්තන් සීමිත වීම නිසයි. සුහදශීලීව අමුත්තන් පිළිගන්නා මෙම ජනතාව සංචාරකයන් වෙත අවශ්‍ය සියලු පහසුකම් ඉතා හොඳින් සපයනවා.

මොංගෝලියානු ජනගහනයෙන් අඩක් පමණ ලාමා බුදුදහම අදහන අතර සෙසු පිරිස මුස්ලිම් හා ක්‍රිස්තියානි ආගම අදහනවා. මෙම ජනතාවගෙන් සියයට අනූපහක් කතා කරන්නේ මොංගෝලියානු භාෂාවයි. ගෝබි කාන්තාර ප්‍රදේශයේ වාසය කරන්නන් අතර චීන භාෂාව ද ප්‍රචලිත වී තිබෙනවා. ඔවුන් භාවිතා කරන්නේ ටගරික් නම් මුදල් ඒකකයයි. ගෝබි කාන්තාරය අවට ඉතාම වැදගත් පුරාවිද්‍යාත්මක සාධක රැසක් තිබෙන අතර ඩයිනෝසිරස් සත්වයන් බිත්තර දමන බව මුලින්ම සොයාගනු ලැබුවේ ගෝබි අවට කැණීම් වලදීය. තඹ රන් හා ගල් අඟුරු නිධි වලින් ගෝබි කාන්තාරය පොහොසත් වන අතර ලොව විශාලත්වයෙන් තුන්වන රන් හා තඹ ආකර මෙහි පවතිනවා. ඔටුවන්ට අමතරව රාජලියන් මුවන් වර්ග මීයන් වලසුන් මෙම ප්‍රදේශයේ බහුලව දැකගත හැකි. නමුත් හදිසි කාලගුණික විපර්යාස නිසා කාන්තාරකරණය තවදුරටත් ව්‍යාප්ත වීම හේතුවෙන් ඔටු රංචුවලට සිය තෘණ භූමි අහිමි වීමේ අවදානමක් පවතිනවා.

ගෝබි හි සංචාරය කරන්නකුට ඉතා අඩු මුදලකට එඬේර ජනතාව භාවිතා කරන ගෝලාකාර කූඩාරමක නැවතී නැවුම් අත්දැකීමක් ලබන්නත් හැකියාව ලැබෙනවා. එසේම ඔටුවකු පිට නැගී වැලි කඳු අතර සංචාරයක නිරතවීම ගෝබි සංචාරකයෙකුට මහත් ආශ්වාදයක් ගෙන දෙයි. (aayubo)

Buzzer.lk සහ Buzzer Travel හා සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම වූ විස්තර දැනගන්න.

Share.
Leave A Reply

Exit mobile version