ජනවාරි 31 වැනිදා ආරම්භ වන එංගලන්ත ලයන්ස් ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා ‘ඒ’ තරග සංචාරය යටතේ ආරම්භ වන සිව්දින සහ එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට එම තරග අංශ සඳහා නායකයින් දෙදෙනකු නම් කිරීමට පියවර ගෙන තිබේ.
තරග 2 කින් සමන්විත සිව්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා ‘ඒ’ සිව්දින කණ්ඩායමේ නායකත්වය සඳහා නිපුන් ධනංජයව ද එක්දින තරග අංශයේ නායකත්වය සඳහා කමිදු මෙන්ඩිස්ව ද නම් කර තිබේ.
මෙම කණ්ඩායමට ටෙස්ට් වරම් දිනා සිටින කමිදු මෙන්ඩිස්ට අමතරව, ඕෂධ ප්‍රනාන්දු, ප්‍රවීන් ජයවික්‍රම සහ ලසිත් ඇඹුල්දෙණිය යන ක්‍රීඩකයින් ඇතුළත්ව තිබීම කැපී පෙනෙයි. කෙසේ වෙතත් නම් කරන ලද ක්‍රීඩකයන් 22 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරයට සූදානම් වීමේ කොටසක් ලෙසට තවත් 14 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ප්‍රකාශයට පත් කිරීමට ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.
ඒ අතර ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරුවකු වන කුසල් ජනිත් පෙරේරා ද නම් කර තිබේ. 2021 වසරේ අග භාගයේ පැවැති ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති විස්සයි-20 තරගයෙන් පසු උරහිසේ ආබාධයකට මුහුණ දුන් කුසල් මේ වන තෙක් වූ මාස කීපයේදීම කිසිදු ක්‍රියාකාරී තරගයකට සහභාගි නොවිණ. කෙසේ වෙතත් සිය ආබාධිත තත්ත්වය පූර්ණ සුව අතට පත්කර ගැනීමට කුසල් සමත්වීම නිසා නැවතත් ජාතික කණ්ඩායමට දොරටු විවර කර ගැනීම සඳහා අවස්ථාවක් ලබා දීම කෙරෙහි තේරීම් කමිටුව තීරණය කර තිබේ.
මේ අතර පැතුම් නිස්සංක, චරිත් අසලංක, චාමික කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස්, දුනිත් වෙල්ලාලගේ, ලක්ෂාන් සඳකැන්, විශ්ව ප්‍රනාන්දු සහ දුෂ්මන්ත චමීර යන ටෙස්ට් වරම් දිනා සිටින ක්‍රීඩකයින්ද අවශ්‍ය වූ විටෙක කැඳවීමේ බලාපොරොත්තුවෙන් නම් කරන ලද විශේෂිත සංචිතයට ඇතුළත්ව සිටිති.
ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම – නිපුන් ධනංජය (නායක – සිව්දින තරග), කමිදු මෙන්ඩිස් (නායක – එක්දින), ලසිත් කෲස්පුල්ලේ, නිශාන් මදුශ්ක, ළහිරු උදාර, සහන් ආරච්චිගේ, තනුක දාබරේ, ෂෙවෝන් ඩැනියෙල්, ඕෂධ ප්‍රනාන්දු, නුවනිඳු ප්‍රනාන්දු, ජනිත් ලියනගේ, අම්ෂි ද සිල්වා, මිලාන් රත්නායක, ශිරාන් ප්‍රනාන්දු, ඉසිත විජේසුන්දර, චමිදු විජේසිංහ, ධනංජය ලක්ෂාන්, සුමින්ද ලක්ෂාන්, ප්‍රවීන් ජයවික්‍රම, ලක්ෂිත මානසිංහ, ලසිත් ඇඹුල්දෙණිය, දුෂාන් හේමන්ත.
අවශ්‍ය වූ විටෙක කැඳවීම සඳහා නම් කර ඇති ක්‍රීඩකයින් – පැතුම් නිස්සංක, චරිත් අසලංක, චාමික කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස්, දුනිත් වෙල්ලාලගේ, සදීර සමරවික්‍රම, ලක්ෂාන් සඳකැන්, විශ්ව ප්‍රනාන්දු, ප්‍රමෝද් මදුශාන්, නුවන් තුෂාර, කවිෂ්ක අංජුල, අවිශ්ක ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, කුසල් ජනිත් පෙරේරා.
Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.