ඕමානයේ ගෘහ සේවය සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 14 දෙනකු එරටින් පිටුවහල් කර ඊයේ (20 දින) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි.

මොවුන් අතර සිටි ගෘහ සේවිකාවන් 06 දෙනකු එරටේ දී විවිධ ප්‍රශ්නවලට භාජන වී, පසුව ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අනුබද්ධිත ‘සුරක්ෂා’ රැඳවුම් නිවාසයේ තබා සිටි අයයි.

මීට අමතරව තවත් ගෘහ සේවිකාවන් 08 දෙනකු, ඔවුන් සේවය කළ නිවාසවල දී සුළු වැරදිවලට චෝදනා ලබා එරට කම්කරු උසාවියෙන් වැරදිකරුවන් වී පිටුවහල් කර මෙසේ එවා තිබුණි.

මෙසේ පැමිණි ගෘහ සේවිකාවන් පිරිස අතර ගර්භණී තත්ත්වයේ පසු වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක් ද සිටියාය.

මෙම ගෘහ සේවිකාවන් පිරිස 01/20 දින අලුයම 04.50 ට ඕමානයේ මස්කට් නුවර සිට, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ. එල්. – 206 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණි.

ගුවන් තොටුපළ වෙත පැමිණි මෙම ගෘහ සේවිකාවන් පිරිස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් විසින් භාර ගැනීමෙන් අනතුරුව ඔවුන්ගේ නිවාස වෙත යැවීමට පියවර ගෙන තිබේ. (දිවයින)

Share.
Leave A Reply

Exit mobile version