අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් රජයට පවරා ගැනීමේ කිසිදු අරමුණක් රජයට නොමැති බවත්, රජයේ අරමුණ ඉඩම් අයිතිය ඇති ජනතාවට කඩිනමින් පවරා දීම බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක එකේ අද (23) පැවැති උතුරු නැගෙනහිර ජනතාව මුහුණ දෙන ඉඩම් හිමිකම් පිළිබඳ ගැටළුව විසදීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් අමතමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව පැවසීය.
මෙතෙක් කලක් උතුරු නැගෙනහිර ඉඩම් අයිතිය නිරවුල් කිරීම වෙනුවෙන් ගෙන ගිය පැවති රජයන්ගේ වැඩපිළිවෙල පිළිබඳ ජනතාව තුළ සැකයක් මතුව ඇති බවත්, අයිතිය හිමි ජනතාව සතුව අයිතිය ඔප්පු කිරීමට ලේඛන කිසිවක් නොමැති බවත් උතුරු නැගෙනහිර නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් මෙහිදී පෙන්වා දුන් අතර ඒ සඳහා ජනතා විශ්වාසය දිනාගත් ක්‍රමවත් වැඩපිලිවෙලක් අවශ්‍ය බවත් ඔවුන් මෙහිදී කියා සිටියේ ය.
සමහර පිරිස් විසින් වංචනිකව ඉඩම් අත්පත්කරගෙන ඇති බවත්, වත්මන් රජය විසින් අදාල ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් ලබා දෙනු ඇතැයි යන විශ්වාසය ජනතාව තුල තිබෙන බවද ඔවුන් පෙන්වා දුන්නේ ය.
ජනතාවගේ සැකය නැතිවන පරිදි නිසි ක්‍රමවේදයක් හඳුන්වා දෙමින් නීත්‍යානුකූලව තහවුරු කිරීම් සමඟ ඉඩම් අයිතිය ජනතාවට ලබාදිය යුතු බව රජයේ එකඟතාව බවත්, ජනතාවගේ ඉඩම් කිසිම ලෙසකින් රජයට අත්පත් කර ගැනීමට කිසිදු අවශ්‍යතාවක් රජයට නැති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙහිදී පැවසීය.
එ අනුව ජනතාව සහ අදාල අංශ සමග සාකච්ඡා කර ඉදිරියේදී නිසි විසඳුමක් ලබා දීමට රජය කටයුතු කරන බවත්, ඒ සඳහා අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස මෙහිදී නිලධාරීන්ට දැනුම් දුන්නේය.
කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් හා වාර්මාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ, කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් හා වාර්මාර්ග අමාත්‍යංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ, අතිරේක සොලිසිටර් ජනරාල් විකුම් ද ආබෘ, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි යන මහත්වරුන් සහ උතුරු නැගෙනහිර මහජන නියෝජිතයින්, ඉඩම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, මිනින්දෝරු දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන නියෝජනය කරන නිලධාරීන්, දිසාපතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.