වෙනත් පුද්ගලයින්ගේ තාක්ෂණිකව සොරාගත් බැංකු කාඩ්පත් දත්ත භාවිතා කරමින්, අන්තර්ජාලයෙන් භාණ්ඩ හා සේවා මිලදී ගත් පුද්ගලයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශයේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශ​ය විසින් පෙරේදා (5) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකර ඇති අතර,​ දුරකථන විශ්ලේෂණ වාර්තා අනුව අදාළ සැකකරු සිටින ස්ථානය හඳුනාගෙන පසුව ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී, ඔහු සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලබා ඇති බවද, පසුව ඔහු රැකියාවක් කර ජංගම දුරකථනයක් මිලදීගෙන, ඒ හරහා ජංග​ම දුරකථන ක්‍රීඩා සඳහා යොමු වී ඇති බවද, එම ක්‍රීඩා හරහා හඳුනාගත් මිතුරන් පිරිසක් මාර්ගයෙන් මෘදුකාංග හැක් කිරීම සම්බන්ධයෙන් ස්වයං හැදෑරීමක් සිදුකර, ​ඒ සම්බන්ධයෙන් ඇති සමාජ මාධ්‍ය සමූහ කීපයකට එක්ව ඇති බව ද අනාවරණය වී තිබෙනවා.

ඒ තුළිත් ලබාගත් දැනුමෙන් ඔහු තාක්ෂණික ක්‍රමවේද භාවිතා කරමින් වෙනත් පුද්ගලයින්ගේ ක්‍රෙඩිට් කාඩ්පත් දත්ත තාක්ෂණිකව සොරාගනිමින්, ඒ හරහා භාණ්ඩ හා සේවා ලබාගෙන ඇති බවටයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනාවරණයවී ඇත්තේ.

ඔහුගේ පරිගණකය පරික්ෂා කිරීමේදී පරිගණක ක්‍රමලේඛණයක් ඔස්සේ සොරාගත් වෙනත් පුද්ගලයින්ගේ ක්‍රෙඩිට් කාඩ්පත් දත්ත විශාල ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර, ​එම දත්ත භාවිතා කරමින් ඔහු රුපියල් ලක්ෂ 55 ක පමණ භාණ්ඩ ප්‍රමාණයක් ඇනවුම් කළ බවද, කෙසේ නමුත් ඔහුට ඉන් ලැබී ඇත්තේ ලක්ෂ 15 ක පමණ භාණ්ඩ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් හමුවේ සැකකරු සඳහන් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Share.
Leave A Reply

Exit mobile version